Saturday, November 8, 2014

රටක් වටින දරුවො


මේ සටහන බ්ලොග් එක වෙනුවෙන් ලියූ ‍දෙයක් නොවන බව කිව යුතුයි.මෙය නොවැම්බර් -8 නිකුත්වන 'සිළුමිණ'පුවත්පතේ පළවන ලිපියක්.මේ දරුවන් තිදෙනා ගැන බ්ලොග්වාසීන්ගේද අවධානය යොමු කළ යුතු බව සිතුණ නිසා මේ සටහන ඒ ආකාරයෙන්ම බ්ලොග් එකට කැදවා ඒමට තීරණය කළා.කියවා බලන්න.කැමති අයට මේ දරුවන්ට කතා කර තමන්ට හැකි විදිහට උපකාරයක් කරන්නත් පුළුවන්.                                                                                             

»
»
»
»
»
»
»



ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ
නෙත්මි නිසංසා ද සිල්වා විජේසිංහ ලකුණු 193 - 2009 වසරේ දිවයිනේ දෙවන ස්ථානය
රිසිනු පේෂ්ර ද සිල්වා විජේසිංහ ලකුණු 189 - 2011 වසරේ දිවයිනේ සත්වන ස්ථානය
නිහිදු නේෂර ද සිල්වා විජේසිංහ ලකුණු 196 - 2014 වසරේ දිවයිනේ සිව්වන ස්ථානය

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරගය ලංකාවේ විශාලතම අධ්‍යාපනික තරගය වී ඇති වට පිටාවක එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් මෙසේ ප්‍රතිපල ලැබීම අසිරිමත් සිදුවීමකි.එය වඩාත් අපූරු සිදුවීම් පෙළකින් වූ ජයග්‍රහණ බවට පත් වෙන්නේ ඒ පවුලේ යථාර්තයට එබී බැලීමේදීය.

රත්මලානේ පිහිටි ලංකාවේ ප්‍රධානතම බිස්කට් නිෂ්පාදනායතනයක සේවය කළ මේ දරු තිදෙනාගේ පියා වන සුසන්ත ද සිල්වා විජේසිංහ රැකියාව තිබියදී සිය දරුවන්ට උපරිම සැප සම්පත් ලබා දෙන්නට සිහින මැව්වේය.ඒ නිසාම නිසංසා සහ රිසිනු ට ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය ලබා දීමට සිතූ සුසන්ත මේ දෙදෙනාව පළමු වරට ඇතුළත් කරන්නේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලටය.නමුත් වැඩ වර්ජනයක් හේතුවෙන් රැකියාව අහිමි වීමත් සමග සුසන්තගේ ඒ සිහින සියල්ල බිදී වැටෙන්නේය.විශේෂයෙන් නිසංසා ගේ හිත අහළකවත් නොතිබි ශිෂ්‍යත්ව කඩ ඉම ඇය ඉදිරියට වැටෙන විට ශිෂ්‍යත්වයට මුහුණ දීමට තිබුණේ වසරකටත් අඩු කාලයකි.

ලීඩ්ස් හී ඉංග්‍රිසි අධ්‍යාපනය ද සමග ජීවිතයෙ එතෙක් විදි සුඛ විහරණ අහිමිව යන නිසංසාගේ අලුත් විද්‍යාස්ථානය වූයේ ඒ වන විට වැසී යාමේ තර්ජනයකට මුහුණ දී සිටි කුළුපන තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලය විය.දෙමව්පියන්ගේ දිරියත් සමග පාසල රැක ගැනීම උදෙසා යහපත් ප්‍රතිපල ලබා දීමට තිබූ ගුරු උනන්දුවත් සමග නිසංසා ඒ වසරේ මහා විප්ලවයක් කළේ ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි තැනට පත් වෙමින්ය.එහි වැඩි බරක් සිය උර මතට ගත් අනෝමා ශිරානි,මවක් ලෙස නිසංසාගේ සෙවණැල්ල සේ රැදී උන්නාය.

‘ස්කෝලෙන් මහන්සි වෙලා ඉගැන්නුවා.ඒත් දරුවො තුන් දෙනාම පිටි පස්සෙ හිටිය ලොකුම හයිය අම්මා තමයි.’

දරුවන් තිදෙනා මවුපියන් සමඟින්
සුසන්තගේ දෙඇස කදුළෙන් තෙත් වන්නේ සිය දරුවන්ගේ ශක්තිය පිළිබදව උපන් ගෞරවයෙන් වගේම සිය බිරිද පිළිබදව ඇති වූ මහත් ගෞරවය ද හේතු කර ගෙනය.

‘මට විද්‍යා - ගණිත ගුරු පත්වීමක් ලැබෙන්න නියමිතව තිබුණා.නමත් ලිස්ට් එකේ තිබිලා දේශපාලන හේතු මත කැපිලා ගියා.’

අනෝමා ද 80 දශකයේ ඛේදණීය මතකය අවදි කළේ කදුළින් තෙතැති ඇස් සමගය.

‘මමත් බලපිටියෙ ඉදලා කොළඹ ආනන්ද බාලිකාවට ආවෙ ශිෂ්‍යත්වය සමත් වෙලා.මගේ දරුවොත් කවද හරි එහෙම කරයි කියලා මම හීන දැක්කා.ඒත් මහත්තයට ඕනෑ වුණේ ළමයින්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබා දෙන්න.කොහොම හරි අන්තිමට දෛවය විසින් කරපු සරදමකින් හරි මගේ හීනයට උපරිම ආශිර්වාදය ලැබුණා.තුන් දෙනාම ඉහළම ප්‍රතිපල පෙන්නලා ලංකාවෙ තියෙන හොදම කාන්තා සහ පිරිමි පාසල් වලට කරදරයකින් තොරව ඇතුල් වෙන්න සුදුසුකම් ලබා ගත්තා.’

එහෙත් එම සිහින වලට තවත් සිහින එකතු වෙමින් ඇත.ඒ දරුවන්ගේ සිහින ද සමගය.වෛද්‍යවරියක් වීම නිසංසාගේ සිහිනය ය.රිසිනු ට අවශ්‍යය මෘදුකාංග ඉංජිනේරුවෙක් වන්නටය.මෙවර ශිෂ්‍යත්ව කඩඉම පැන්න නිහිදු ගේ අධ්‍යාපනයේ අවසන් පිම්ම වෛද්‍යවරයෙක් වීමෙන් නිමා කරන්නට සිහින දකින්නේය.
‘ලොකු දරුවො දෙන්න දවසට පැය හතරක් බස් වල.එක්කෙනෙක්ට දවසට බස් ගාස්තුව රුපියල් සීයක් වෙනවා.’
සුසන්ත දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් විදින දුක් ගැහැට පවසන්නේ වර්ථමානයේ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිය දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා අසීරු උත්සාහය ද පෙන්වා දෙමින්ය.

‘අම්මා නැගිටින්නෙ උදේ දෙකට විතර.’

එ වෙනුවෙන් දෙමව්පියන් දරන මහන්සිය පිටවෙන්නේ රිසිනුගේ වචන වලින්ය.

‘මම ගණිතය,විද්‍යාව සහ සෞඛ්‍ය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නෙ.මුල් කාලයෙ ලීඩ්ස් වලදී ඉංග්‍රිසි දැණුමේ මූලික දේවල් ඉගෙන ගත්තු එක මට ලොකු ශක්තියක් ඒකට.නමුත් මේ විෂයන් වලට හොද පොත පත සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් උපකාරක පංති වගෙ දේවල් හොයා ගැනීමත් අසීරුයි.’
නිසංසා පැහැදිලි කරන්නීය.

‘ඒවට ලොකු වියදමක් යනවා.දුව මහන්සි වෙලා ඉංග්‍රිසියට පෙරළා ගන්නවා.ඉංග්‍රිසියෙන් ඉගෙන ගන්න දේ වලටත් අපි එයාව පංති අරින්නෙ සිංහල මාධ්‍යයෙන් උගන්නන තැනකට.’

නිසංසාගේ අසීරුතාවය පැහැදිළි කරන්නී අනෝමා ය.

මේ වන විට දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් කුළුපන තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයට ආසන්නව වන කුලී නිවෙසකට වී මේ දුෂ්කරතා විදින සුසන්තලාගේ පවුලට දැන් තව දුරටත් තක්ෂිලාවෙන් දරුවන්ට ලැබෙන ඥානාලෝකය වෙනුවෙන් එහි රැදෙන්නට අනවැසිය.ඒ තිදෙනාම එයින් ශිෂ්‍යත්වය සමත්ව අවසන් බැවින්ය.

‘අයියා හෙම ගොඩක් මහන්සිවෙලා එන්නෙ.ඒ නිසා මට රෝයල් යන්න බයයි.මට ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුව ස්කොලෙ චන්ද්‍රලාල් පෙරේරා ස්රුත් කියන්නෙ අයිය වගේ රෝයල් යන්න කියලා.මාත් ආසයි.ඒත්....’

පුංචි නිහිදුගේ ඇස් වල ප්‍රශ්නාර්ථයකි.

‘ස්කෝලෙ කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න තියෙනවනම් අයියටයි අක්කටයි මටයි තුන් දෙනාටම එකට ඉගෙන ගන්න පුළුවන්’

පවුලේ බඩ පිස්සා වන නිහිදු, පවුල සමගම රැදී ඉන්නට ඇති උවමනාවද පැහැදිළි කරමින් පවසන්නේය.

‘බාහිර කිසි දෙයක් කරන්න අමාරුයි.ආෆ්ටර් ස්කූල් ඉන්න බැහැනෙ.’

දැනටත් පාරට පැය හතරක් ගෙවෙන ජීවිතයේ දුෂ්කරතාවය සිහියට නගමින් පවසන්නේ රිසිනුය.

‘ඒත් කොහොම හරි ටෙනිස් ප්ලේ කරන්න තියෙනවනම් කියලා හිතෙනවා.ඒත් රැකට් එකක් වුණත් හරි ගණන්නෙ.’

රිසිනු තමන් දකින සිහිනය සැබෑ කර ගන්නට ඇවැසි බාධකය පෙන්වා දෙන්නේය.

‘ඔහොම කිව්වට මේ අය ඒවා ඉල්ලල කරදර කරන්නෙ නැහැ.පුදුම දරා ගැනීමේ ශක්තියක් තියෙන දරුවො.බිස්කට් එකක් කාලා දවසක් ඉදියි.බඩගිණියි කියලවත් අඩන කරදර කරන අය නෙමෙයි.’

සිය දරුවන් කෙරෙහි උපන් ගෞරවය සහ සෙනෙහස සුසන්තගෙ දෙනෙත් යළි යළිත් තෙත් කරන්නේය.

‘ගොඩක් පහසුකම් තියෙන අය ඉන්නවා.ඒත් ඒව නැහැ කියලා මම මොකටද පසුතැවෙන්නෙ.මම ඉගෙන ගත්තොත් හොදට ඒව ලැබෙයි.’

රාජකීය විද්‍යාලය සහ විශාඛා විද්‍යාලය වටා බැදෙන සමාජ පරිසරය තුළ සිය භෞතික අඩු පාඩු ගැටළුවක් කර නොගන්නා බව රසිනු මෙන්ම නිසංසා ද පෙන්වා දෙන්නේ සුසන්තගේ වචන යථාර්තයක් කරමින්ය..

‘අපේ හැකියාවට ගුරු මණ්ඩලයෙන් වගේම යාළුවන්ගෙනුත් හොද සැළකිල්ලක් ලැබෙනවා.’

්ඔවුන්ට ඇති'. ‘හැකි කම’ ගැන මහත් විශ්වාසයෙන් සහ ප්‍රමෝදයෙන් යුතුව ඔව්හූ පවසති.

‘අපේ උපන්ගම හොරණවත් කළුතරවත් නෙවෙන නිසා ද දන්නෙ නැහැ.කවුරුවත් දේශපාලනඥයො මේ දරුවන්ගෙ ජයග්‍රහණ ගැන උනන්දුවෙන් බැලුවෙ නැහැ.’

මේ හැකියාව රටම ආලෝක කළ හැකි අනාගතයක පෙරමග ලකුණුව තිබියදීත් කළුතර දිස්ත්‍රික්කයේ සිටින ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේත් දැවැන්ත දේශපාලන චරිත කිසිවක් මේ දරුවන්ගේ අනාගතය ගැන වගකීමට ඉදිරිපත් නොවීම පිලිබදව සුසන්තලා එසේ පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ජයග්‍රහණ වලදී දේශපාලනඥයන් කරළියට ඒම සාමාන්‍ය සිරිතක්ව තිබෙන බැවින් විය යුතුය.

‘ප්‍රශ්න දිහා මේ දරුවො බලන්නෙ වෙන විදිහකට.’

අනෝමා සිය දරුවන් පිළිබද ආඩම්බරය යළිත් වචන වලට පෙරලන්නේය.

‘මහත්තයාගේ රස්සාව නැති වුණාට පස්සෙ දරුවො බෙහෙත් ගන්න අරං ගිහිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝලිමේ පැය ගාණක් තියං ඉන්නවා.එතකොට දුව අහනවා අම්මෙ මමත් දොස්තර කෙනෙක් වුනොත් මෙහෙම අමාරු අයට ගොඩක් උදව් කරන්න පුළුවන් නේද කියලා.’

අනෝමාගේ වචනවල රැදී ඇති ආඩම්බරය සහ වේදනාව...

‘මේ ළමයින්ට කැපකරු මාපිය ක්‍රමයට හරි කවුරුහරි උදව් කරනවනම්; මගෙ දරුවො තුන්දෙනා රටට ආද‍රේ කරන දරුවො.එයාලා අනාගතයෙ රටට වැඩදායක දෙයක් කරයි.’

එය කා අතින් හෝ විය යුතු වගකීමක් කොට අනෝමා නොසිතන්නීය.

‘අපේ දරුවන්ගෙ වගකීම අපි දරන්න ඕනි.ඒක කාගෙවත් වැඩක් නෙමෙයි.ඒත් මේ දරුවො රටට වැඩක් කරන දක්ෂ දරුවො.ඒ ගැන හිතල එක්කෙනෙක්ට හරි කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙනවනම් අපිට පහසු නිසයි එහෙම කිව්වෙ.’

අනෝමා ඉකිගැසීම ආසන්නයේ සිය වචන ගිල ගන්නේය.

‘මට ගොඩක් සංතෝශයි.මම නිසා තමයි මල්ලිලා විභාගයට ඔය තරම් හොදින් මුහුණ දෙන්න සූදානම් වුණේ.ලොකු මල්ලි ශිෂ්‍යත්වය කරන කාලෙ මම හිටියෙ හොස්ටල්.පොඩි එක්කෙනාටනම් මම පාඩම් හෙම කියා දීලා උදව් කළා.ඒ අය හරි හොදයි.රණ්ඩු වෙන්නෙ නැතිව මම කියන දේවල් අහගෙන ඉන්නවා.’

රට කතා කරන මාතෘකාවක් බවට සිය පවුල පත් කිරීමට පුරෝගාමීත්වය ගත් නිසංසා පවසන්නීය.වචනයකින් වචනයකට පිවිසීමට පවා බොහෝ වෙලාවක් ගන්නා නිසංසාගේ මුවින් අනවශ්‍යය වචනයක් හෝ පිට නොවන්නීය.

‘අමාරුකම් තියෙනවා.ඒ වුණාට අපි තියෙන විදිහට ඉගෙන ගන්නවා.භාහිර දේවල් කරන්න ගිහිං අම්මටයි තාත්තටයි කරදර කරන්න යන්නෙ නැහැ.එයාලගෙ හැම දෙයක්ම අපි වෙනුවෙන් කැප කරනවා.අපිට ඕනි ඒකට හරි යන්න හොදට ඉගෙන ගෙන අම්මටයි තාත්තටයි සළකන්න.’

රිසිනු තමන්ගේ අවසාන අධ්‍යාපන ඉලක්කය ජය ගැනීමෙන් පසුව කරන්නට සිතා සිටින දේ පැහැදිළි කරයි.ඒ තිදෙනාගේම සිහිනය බව නිහිදු සහ නිසංසා ද අවධාරණය කරන්නේය.

‘රටක් වටින දරුවො තුන් දෙනෙක්!’

පිටත් වන්නට වාහනයට ගොඩ වී මද වේලාවකට පසුව ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් එකිනෙකාට කියා ගතිමු.ඒ වටිනාකම ආලෝකමත් කළ හැකි ශක්තියක් ඇත්තෙකුට, මේ වටිනා දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට සරණක් වන්නට හැකිය.කුළුපන තක්ෂිලා කණිෂ්ඨයට හූවක දුරින් ඇති මේ දරුවන්ගෙ කුලී කැදැල්ලේ යොමුව ‘පාලි සෙවණ'.කුළුපන, හොරණ ය.දුරකථනයෙන් සුසන්තව සම්බන්ධ කර ගන්නේනම් 0713 429252 දුරකථන අංකය හරහා තොරතොරු දැන ගැනීමට හැකිය.

Monday, November 3, 2014

ඊ ළග නායකයා කවුද?


මේ මොහොතේ රටේ ඊ ළග ජනාධිපතිවරණය ජය ගන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවට බදුන් වී තිබෙන මොහොතයි.මහින්ද රාජපක්ෂ ද,රනිල් වික්‍රමසිංහ ද යන්න තීරණය කිරීම පිණිස දැනටත් ගමේ කඩ පොළේ සිට නගරය සුපර් මාර්කට් දක්වා සංවාද කරන මිනිසුන් දැකිය හැකිය.

රාජපක්ෂට ඇති ප්‍රධාන සුදුසුකම ලෙස බොහෝ අය දක්වන දේ අතර ඔහුගේ රැවුල ද සාධකයක් ලෙස කතා බහට ගැනෙයි.එය හොද සාධකයකි.ඔනෑම ජරාවක් පිස දැමීමට එය මුඩුවක් කොට හෝ භාවිතා කළ හැකිය.රනිල්ට සිදු වන්නේ ඒ නිසා ජරාවට බියෙන් සිටින්නටය.නොගා ගෙන සිටින්නටය.එසේම මහින්දගේ පුරුෂකම පැහැදිළි කරන්නට පුතුන්ද සිටින්නේය.ඒ නිසා දැනට ද සිදුවන ආකාරයට රජ පුතුන් ලෙස තාත්තාගෙ ඇවෑමෙන් ඉහළ සැප සම්පත් භුක්ති විදින්නට ද,රටේ සම්පත් බෙදා හදා ගෙන පරිහරණය කරන්නට ද එවැනි දරුවන් සිටීම ගැන ඔහුට පක්ෂපාති ජනතාව ඉන්නේ මහත් සතුටින්ය.හැමදාම කාගේ හෝ බැලයෙක් ලෙස ජීවත්වීමෙන් සංතෘප්තියට පත් වීමට හුරු අපේ වැඩවසම් මානසිකත්වය එය අපහසුවකින් තොරව විදිමින් නැතිකම සහ ඇති කම කරුමය ලෙස අරුත් ගන්වන්නට සමත්තුය.රනිල්ට එසේ බෙදා හදා ගන්නට කිසිවෙක් නැති නිසා එය ඒ වැඩවසම් ක්‍රමයට පට්ටම අවුලක් වන්නේය.

මේ මේ දෙදෙනා ගැන කතා බහය.ඒත් ඊළග යන්නෙන් අදහස් කළේ සැබවින්ම මේ දෙනොගෙන් පසුව මේ පක්ෂ දෙකට හෝ නායකයෙක් සිටීද යන්නය.පේන තෙක් මානයක නැත.ලොකුම අවුල තියෙන්නේ එතැනය.නායකයෙක් නිරුමාණය විය යුතුය.එවැන්නෝ නිර්මාණය කිරීම කළ නොහැකි අතර එවිට බිහි වන්නේ රටට හිතකර අයෙක් විය නොහැකිය.

මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව එවැන්නෙක් නිර්මාණය කරමින් සිටින්නේය.එතුමාගේ නෑ සනුහරේම දැන් දේශපාලනයේ සිටිති.ඒ අය කැබිනට් ඇමතිවරුන්ටත් වඩා බලවත්ය.එය අමුතුවෙන් හංගන්නට දෙයක් නැත.ඇමතියෙක් පමණක් නොව ජීඑල් වගේ ප්‍රාඥයෙක් සිටියද ජනාධිපති නාව උත්සවයක ප්‍රධාන තැන ගන්නේ නාමල් සිටී නම් ඔහුය.ඇමතිවරු විවිධ දේශපාලන ව්‍යාපෘති කර මහ හඩවල් දෙමින් ලකුණු දා ගන්නට කැස ගසා සිටියදී,එතැනට පාත් වෙන නාමල් පීත්ත පටිය කැපීමේ වගකීම දරද්දී,මහා කැබිනට් අමාත්‍යවරයාට සිදුවන්නේ අත්ල ලෙලි යනතුරු මහ හඩින් අත්පොළසන් දීමටය.මේක ඇත්ත ද නැද්ද යන්න තීරණය කිරීම අත්දැකීම් මතම සිදු කර ගැනීමට හැකිය.

රනිල්ගේ යූඇන්පී යේ එහෙම වැඩක් නැත.සජිත් වරෙක නියෝජ්‍ය නායක වන්නේ සහ තවත් වරෙක උප නායක වන්නේ ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොමැති බව පහදමින්ය.එය තුළ තිබෙන්නේ නිර්මාණය විය හැකි අවකාශයක්ය.එය බලය සහ වැඩ ක්‍රියාවෙන් සිදු විය යුතුය.එකක් තුළ එකෙක් හදන්නට හදමින් සිටින අතර එකක් තුළ එකෙක්ට හැදෙන්නට ඉඩ ඇත.මේ අවස්ථාවන් දෙක බුද්ධිමත්ව පරිශිලනය කිරීම වැදගත්ය.

අවසානයේ ඊළග නායකත්වය ගැන කතා කිරීමට ප්‍රථම ඊළග නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට ඇති අපට ලැබෙන බලය ද.කලපනාකාරීව භාවිතයට ගත යුතු වන්නේය.බෙදා ගෙන කෑමද බදා ගෙන කෑමද යන්න එහි දී කලපනාවට ගැනීම  නායකයාගේ කවුරුන්ද යන්න තීරණය කිරීම  පිළිබදව සැළකිල්ල යොමු කිරීමේදී අතිශයින් වැදගත්ය.


Thursday, October 30, 2014

කොස්ලන්දෙන් පායන සද?



හීනියට හඩන ඇස්
කූඩයට ඔබා ගෙන
 කහට ගෑ ‍තොල් අතර
සිරික්කිය පුරෝගෙන
පාට වියැකුණු රෙද්ද
හිසේ සිට එලාගෙන
කාටවත් නොපෙනෙනා
අදුරේම පිටව යන

ලැයිම් කාමර වලට
ඉර එළිය වඩින කොට
අඩු කෝප්පෙක තරම
දාඩියත් පුරෝ ගෙන
පීප්පෙක තරම් උස
කූඩයට පිරී ගිය
දල්ලෙ කහටක් මිසක්
හිතේ කහටක් නැතිය

පිළිවෙලට ඇමිනෙන්න
අකුරු දැණුමක් නැතිව
හඩන පොඩි වුන් දිහා
නොදත් කම දරා ගෙන
වත්තෙ රස්සාවෙ ගුණ
හැමදාම කියා දෙන
ලෙච්චමී පස් ගොඩක
හැංගුණේ කිමද නුඹ

තොණ්ඩමන් කියන තුරු
අයිතියක් නොදැන සිටි
වත්තෙ මහතුන් තෙමේ
රහතුන්ව සිතා සිටි
රටේ කාගෙත් බතට
ලුණු ඇටක් තරම හෝ
මුසු කරන්නට ඔබේ
අතේ සවි හේතු විය

පවුකාරයන් මඩිය
තර කරන්නට හෙළුව
දාඩියේ සාපයද
කන්දකට යට වුණේ
අව් කණ්නාඩියෙන්
නුඹ නොදුටු පාපයද
ඇස් අගට කදුළු වී
අපෙ ඇසේ මතු වුණේ

පිංතාලියක් වී
හැම කහට උගුරටම
නුඹේ රස මුසු වුණේ
පව්කාරියක් යැයි
ඉතිං කොහොමද නුඹව
කන්දකට වැරදුණේ

තව වාරයක් යැයි
බලය ඇති අය නිබද
සටනකට අර ඇදේ
උන්ගෙ අත පසු වීම්
වළලද්දී මිනිසුන්ව
නින්දෙන්ම නිදි ඇදේ

නුඹේ හුස්මත් එක්ක
අලුත් හුස්මක් ගන්න
මිනිසුන්ගෙ පෙරහැරේ
වතු අයිති මහත්තුරු
නුඹේ ලේ බිව් නඩේ
වැලලේවී සිව් අතේ

අලුත් අකුරක් අරං
දෙගුරුන් ගෙ මල බතේ
හැගුම් පොකුරක් තබා
පිට වෙන්න දරුවනේ
නුඹේ දාඩිය එක්ක
කෙළි කවට වතු කරේ
හෙටින් අවසන් කරන
සටන එයි පෙර මගේ









Sunday, October 19, 2014

බලු කම


මනුස්සයට හිතවත්ම සත්වයා බල්ලා කියලා අපි අහලා තියෙන්නෙ පොඩිම කාලෙ.මේ දවස්වල බල්ලො ගැන විතරක් නෙමෙයි පූසො ගැනත් ලොකු අර්බූද ගාණකට හිත වද විදිනවා.පූසො කතාවටනම් මුල පහු ගිය කාලෙ අපේ ගෙදරට ආව ගිය අයට මතකනම් හුරතල් වෙවී හිටිය පූස් පැටව් ටික.දැන් හතර දෙනාම සූරයො වගෙ ගෙදර අනිත් පැත්ත පෙරලනවා.කවුරු හරි ඇහැව්වම දෙන්න හා කිව්වත් ඒක නිකං අර වැල මිට පස්සෙන් අල්ලල තේ බොන්න කතා කරනවා වගේ වැඩක්.දෙන්න හිතක් නැහැ.

මුන්ගෙ දැගලිල්ල කොච්චර ද කියනවනම් මේ වෙන කොට එකෙක් ඇහැකට කෙළව ගෙන.ඒක කවදාවත් පේන්නෙ නැති වෙයිද දන්නෙ නැහැ.දැන් බෙහෙත් කරන් යනවා පශු වෛද්‍ය උපදෙස් මත.තව එකෙක් අණ්ඩක් කඩා ගෙන.සමහර විට උට ඔපරේෂන් එකක් කරන්න වෙයිද දන්නෙ නැහැ.ඒ තරම් අමාරුයි.මේ සුමානෙ බලල ඒක ඉක්මණට කරල දාන්න වෙනවා.

දැන් ආයෙත් බලු කතාවට.බල්ලො හරිම හිතවත්.ඒ නිසා උන් හරිම මිත්‍රශීලීයි.තමන්ගෙ හිතවත්කම වෙනුවෙන් ඕනි දෙයක් කරනවා.අපේ ගෙදර ආව ගිය අය දන්නවා පාරෙ හිටිය බලු රෑන.උන් ඒ පාරෙ සිකුරටි එක වගේ.දන්නෙ නැති කෙනෙක් පාරට ඇතුල් වුනොත්,ඒ පාරෙ ගෙදරක කෙනෙක් බලල ඕකේ එක දෙනකං බල්ලො ටික පස්සෙන් බුරා ගෙන වැටෙනවා.ඒ වගෙම තමයි කුඩු සෙට් එකට පත්තර,බෝතල් එකතු කරන්න පාරට ඇතුල් වෙනවනම් ඒ දේ කර ගන්න වෙන්නෙ අරුන් විසින් නොනවත්වා පවත්වන බලු ඝෝෂාව මැද්දෙ.

මේකෙ ලීඩර් හිටියෙ බැල්ලියෙක්.උා තමයි මේ ආරක්ෂක වැඩ පිළිවෙලේ ප්‍රධානියා.එන්න එන්න වයසත් එක්ක මෙයා දිරලා ගියා.විශේෂයෙන්ම හැව මාරු වෙන්න වගෙ තියෙන ලොම් ටික හැලිල ඇගේ හමේ පාට ප්‍රසිද්ධියෙ ප්‍රදර්ශනය වෙන්න ගත්තා.කන බොන එක සීමා වුණා.වේදනාව වැඩි වුණා.උා ටික ටික මේ පෙණුම නිසා මිනිස් ඇසුරෙන් ඈත් වුණා.නමුත් මම ගේ ළගට ආවම කන්න දෙයක් තිබුනොත් ගේට්ටුව අස්සෙන් දැම්මා.මොකද ළගට ගියොත් මූ උගේ තත්ත්වය ගැන තේරුම් ගන්න බුද්ධියක් තියෙන සතෙක් නොවන නිසා උගේ අපිරිසිදු කම සහ ඒකෙන් මට සෞඛ්‍යමය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටළු ගැන උෟ නොදන්න නිසා හැම වෙලේම බැලුවෙ ඇගේ එල්ලෙන්න.

බුද්ධිය ගැන කිව්වම මතක් වුණේ බල්ලට මම හිතන්නෙ බුද්ධිය නැහැ.ඉව තියෙනවා.පුරුද්ද තියෙනවා.ඒ වුනාට හිතල තීරණ ගන්න කල්පනා ශක්තියක්.තාර්කික බුද්ධියක් උට ඇති වෙන්නෙ නැහැ.සමහර බල්ලො කන්න පුරුදු වුනාම හොද නරක පෙණුම අදාළ නැහැ.උෟ කවුරු වුණත් හපා කනවා.උට කන්න දෙන කෙනා කවුද කියන එක විතරයි වැදගත්.ඒ හොරෙක්,බොරුකාරයෙක්,මංකොල්ලකාරයෙක් වුණත් බල්ලට වැදගත් නැහැ.ඒ වෙනුවෙන් ඕනෑම හොද කෙනෙක්ව නිරපරාදෙ හපා දාන්න බල්ල ඉදිරිපත් වෙනවා.

මේ වගෙ මේ බැල්ලිට මෑත කාලෙ සියල්ල අමතක වෙනවා.මම හිතන්නෙ වේදනාවට.ඒ වගේම උෟව සෙක්සුවල් අතින් දිරා යාමත් බලපාන්න ඇති.හම ගිය උෟව රැලේ කාලෙට පූට්ටු වෙලා ඉන්නවා දැක්කෙ නැහැ වගේම වාර ගණනකින් පැටව් ලැබුණෙත් නැහැ.ඒ නිසා වෙන්න ඇති එයාගෙන් පැවත එන පරපුරේ කාන්තා පාර්ශවය එක්ක එයා නිතර පැටළුණා.දුවල මිණිපිරියො එක්ක.

මේ තත්ත්වය දරුණු වුණේ වේදනාව දරා ගන්න බැරිව ඒ පාරෙ කිහිප දෙනෙක්වම කෑවට පසුවයි.ඒ සමගම බුද්ධිමත් මිනිස්සු බැල්ලි ගැන අතීතය සම්පූර්නයෙන් වළලා දැම්මා.ඌ කැලේට පැනල වගේ හිටියෙ.දකින්නම නැහැ.ඉද හිට හෝ කොහේ හරි හැංගෙන තැනකින් කෑමක් හොයා ගන්න ආපු වෙලාවටත් මූ මිනිස්සු හපාකාලා යන්න පටන් ගත්තා.

දවසක් උදේ මාත් එක්ක බැල්ලිගෙ සපා කෑමට ලක් වුනු කෙනෙක් කතා කර කර හිටියා.ඔයා වුණත් පරිස්සම් වෙන්න.දැක්කත් ළගට යන්න එපා.කොච්චර කන්න බොන්න දුන්නත් ෂුවර් නැහැ කියලා ඒ මනුස්සය කිය කියා ඉද්දි මම කිව්වෙ මට නම් එහෙම කරන එකක් නැහැ කියලා.මට බල්ලො පශ්චාත්තාප වෙන වැඩ කරන්නෙ නැහැ කියලමයි හිතුණෙ.

බන්ධනාගාරෙ නාට්‍යයෙ කොල්ලෙක් දවසක් මට අමුතු ටෝක් එකක් දුන්නා.නාට්‍ය ගැන ලොකු ලොකු කතා කිය කිය හිටියට වේදිකාවෙ හැරෙන හැටි ඉද ගන්න හැටිවත් නොදැන සිටිය මනුස්සය ඒ වැඩෙන් පස්සෙ විනය හේතු මත නාට්‍යයෙන් ඉවත් කෙරුණා.ඒත් මනුස්සය මේ ළගදි බලපත්‍ර මණ්ඩලයෙන් නිදහස ලබලා.ඒකට ගිය ගමන්ම නාට්‍ය දැකලා තිබුණු නිලධාරි ඒ ගැනලු කතා කලේ.මනුස්සය නිදහස් වෙන්න මග නාට්‍යය කියලා දැන් මා එක්ක කතා කරන්න අවස්ථාවක් අරං දෙන්න කියලා අඩනවලු.ඉතිං මම කිව්වා නොදන්න දේ ඉගෙන ගන්න ඕනි.උගන්නපු කෙනා නෙමෙයි ඉගෙන ගත්තු දේ අමතක නොකිරීමයි වැදගත් හරියට දෙයක් කරන්න අපිට බලං ඉදල සතුටු වෙන්න පුළුවන් කියලා.සමහර මාර වැඩකාරයො කියලා පෙනී සිටින සහ ඇතැමුන් විශ්වාස කරන අයත් අපිට වැඩ වලදි හම්බ වෙලා තියෙනවා.ඒ අයත් වේදිකාවෙ හැරෙන්න ඉද ගන්න දැනං හිටිය අය නෙමෙයි.පස්සෙ කාලෙක ඒ අයගෙන් අපි ඉගෙන ගත්තා වගේ කතා කරලා පුළුවන්නම් මූණට කෙළත් ගහල යන්නෙ.හිර ගෙදර නෙමෙයි පිටත් ඒ විදිහෙ පුනරුත්ථාපන අවශ්‍යය අය ඉන්නවා. ඒ වගේ වෙලාවක පුනරුත්ථාපනය වෙමින් ඉන්න කෙනෙක් එහෙම කියපු එක සුළු දෙයක් කියලා මම මග ඇරියා.

මම බැල්ලි එහෙම කරන එකක් නෑ කියන එක හිතුවට ඒකිත් වේදනාවට ඒ ජාතියෙම වැඩක් කළා.අර මනුස්සය සමග කතාව අස්සෙ ගේ ළග නවත්තලා තිබුණ කාර් එකක් අස්සෙන් බඩ ගා ගෙන ආපු බැල්ලි මට කන්න පැන්නා.මම හතර වරක් උගෙ ඉලක්කයෙන් බේරුණා.ගේට්ටුව හදිස්සියට ඇර ගන්නත් බැහැ.ගහන්න හිත දෙන්නෙත් නැහැ.කතා කර හිටපු මනුස්සය අලි ගල් ගෙඩියක් අරං මා පස්සෙන් එහාට මෙහාට පනින බැල්ලිට කුරුමාණම් අල්ලනවා.ඒක බැල්ලිට නොවැදි මට වැදුණත් බඩු බනිස්.

බේරෙන්න බැරි තැන මම පැත්කට පැනලා පයින් පහරක් ගැහැව්වා.ඒකි මීටර් 3 ක් විතර වීසි වෙලා ගිහිං වැටුණා.නැගිට ගන්න බැරිව කෑ ගැහැව්වා.කෙදිරි ගෑවා.ඊට පස්සෙ අමාරුවෙන් නැගිටලා එතන තියෙන හදන ගේ අස්සට රිග ගත්තා.මම හවස බන්ධනාගාරෙ ඉදල ගෙදර එනකොට ඌ මැරිලා.නගර සභාවෙන් ඇවිත් අරං ගිහිං.ඒත් ඌ මගේ හිතේ ඉන්නවා.ඒකෙන් එලව දාන්න බැහැ.කොහේ හරි දවස් කිහිපයක ගමණක් ගිහිං එනවනම් ගෙදරට හැරෙන පාර ගාව ඉදල ඇගේ එල්ලෙමින් එන අැගේ දැවටුන බැල්ලිගෙ මතකය උගේ ගුණය මම කොහොමද බල්ලෙක් වගේ අමතක කරල දාන්නෙ.

'මම මනුස්සකමට දරා ගෙන හිටිය දේ උගේ බලුකමට තේරුණෙ නැති නිසා තමයි මග හරින්න මග හරින්න පැන්නෙ' කියල මට ජයන්ත අයියා කියන අසල්වාසියා කිව්වෙ. මනුස්සකමට දරාගෙන  ඉන්න ඉන්න නිරපරාදෙ බුරාගෙන පනිනවනම් බල්ලො මරන්න ඕනි මම මටම කියා ගත්තට මනුස්සෙක් නිසා ම මගේ හිතට බැල්ලිව මතක් වෙනවා.

පව් නොදන්න කම, බලු කම!
මනුස්සයො වුණහම ඒ වගේ දේවල් වලට අනුකම්පා කරන්න ඕනි.


Tuesday, October 7, 2014

බට්ටි වෙන්දේසියේ සිට.....

මම නිතරම හිතන්නේ සංවාදය තරමටම සංවාසය ද වැදගත් බවය.ඒ සංවාසය බොහොම ආදරණීය එකක් කර ගනු විනා මරා ගෙන කෑමක් කර ගන්න මට උවමනා නැත.හිත ගිය තැන මාලිගාව කී ආකාරයට හිත නොගිය මාළිගාවකට ඇතුල් වන්නට සිතෙන්නේද නැත.‍එසේම බොහෝ අයට බඩු වන ආකාරයට ගැහැණු ගැන පහළට දමා කතා කරන්නට මගේ දිව නැමෙන්නේද නැත.සාමාන්‍යයෙන් හිත ගිය මාළිගාවල් වල සිට ඇතැම් විට එළියට පනින ඇතැමෙක්  යක්ෂාවේශ වූ යකින්නියන් මෙන් දරුණු ලෙස පහුරු ගාද්දී ද, මා නිහඩව සිටින්නේ ගැහැණිය පිළිබද සියලු අර්ථනිරූපනයන් රදා පවත්නා පිරිමි සමාජ භාවිතාව තුළ යන්න දන්නා නිසාය.එවැනි වට පිටාවක බොහෝ විට තවත් පිරිමියෙක්ට වරද පටවා සිය හෘද සාක්ෂිය නිදහස් කර ගැනීමේ පිරිමි උවමනාවක් ද මට නැත.ලිංගික අවයවය හිතේ එල්ලා ගෙන සමාජය දෙස නොබලන බැවින් මා සමාජය දෙස බලන්නේ ලිංගිකත්වය මත අවස්ථා සහ අයිතීන් තීරණය වෙන දෙයක් ලෙස ද නොවේය.

බට්ටි ගැන දැන් බොහෝ දෙනෙක් ලියා අවසන්ය.බට්ටි වෙනුවෙන් බොහෝ දේ කරන්නට සහ පෙනී සිටීමට ඉදිරිපත් වූවෝද දැන් බොහෝ සිටිති.එය යහපත්ය.ගණිකාවක් කියා ගැහැණියක් ප්‍රතික්ෂේප කරන්නට ඇයගේ සමාජ අයිතිවාදිකම් උදුරා දමන්නට කාටවත් ඉඩ නැත.ආගම්වල එල්ලී සිටින්නන්නටද ඊට ඉඩක් නොමැත.බුදු රජාණන් වහන්සේ මෙන්ම ජේසුස් වහන්සේද එය රසේ නොවිය යුතු බව ආදර්ශයෙන්ම පෙන්වා දී ඇත.

නමුත් පවතින නීතිමය රාමුවත් සදාචාරයත් ඇතුළත සිදු නොවිය යුතු ආකාරයේ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ පොලිස්කාරයෙක් වෙනුවෙන් ස්වීය ආත්මය පාවා දුන්නෝ ද මෙහිදී බොහෝ සේ රොද බැද සිටිති.සමාජජාලා වෙබ් අඩවි තුළ බට්ටි පිරිමියෙක් ගේ පහසක් හෝ නොලද ගණිකාවක් බවට පත් කළ ඇතැම් පිරිමි ඔළු ඇය පිරිමි දෙස බලාගෙන ප්‍රසිද්ධීයේ ස්වයං වින්දනය කරමින් පිරිමි සිත් දූෂණය කිරීමේ හේතුවෙන් ගණිකාවක් වූ සේ හැසිරිණ.ඒ කිසිම පිරිමියෙක්ට ඇය පිරිමින් සංතර්පනය කිරීමේ කාර්යයේ නොනිල ලෙස හැසිරීම නිසා ගණිකාවක් වූ බව අමතක විණි.

ලංකාවේ ලිංගික කාර්යේදී බොහෝ විට පිරිමි ආධිපත්‍යය පැතිරී තිබෙන බව සත්‍යයකි.ගැහැණු ශරීර පිරිමි අවශ්‍යයතාවයන් දරා සිටින්නට හුරු කළ යන්ත්‍ර සේ විය යුතු බව බොහෝ පිරිමි විශ්වාසය වන්නේය.එය සමාජ පැවැත්ම වන නිසාම බොහෝ ගැහැණුන්ද සයනයේ පසුගාමීව හැසිරෙන ලැජ්ජාව,සහ ඇතැම් කරුණු සදහා පැිලෙන මනස් සහිත වන්නන් වීම ද සාමාන්‍යය.මේ කාර්ය නිසා ඇතිවන පිරිමි අවශ්‍යයතාවයේ රික්තකය පුරවන කොටස බවට පත් වන්නේ බට්ටිලාය.

දාහක් විතර එක්ක ඉදල ඇති තවම එකෙක් මට ඕනි විදිහට ඉදලා නැහැ බං.

එවැනි ක්‍රියාවකින් පසුව පුංචි ෂොට් එකක් තොල ගාන අතරේ ඇති වූ හදිසි මිතුරු කමක සංවාදය ඇතුළෙ ඇසුණු එවැනි බසකින් කියැවෙන්නේ ලංකාවේ ගණිකාවගේ ක්‍රියා කළාපයය.ඇය මෙය කැමැත්තෙන් වෘත්තියක් ලෙස තෝරා නොගන්නීය.අසරණ වීම කරන්නට වෙනත් කිසි දෙයක් නොමැති වීම ගණිකාවක් නිර්මාණය වන්නට සාධක බව බොහෝ විට පැහැදිළි කර ගැනීමට හැකිය.ඒ නිසාම ඇය වෘත්තීය තුළ දන්නා එකම කාරණය සිය ස්ත්‍රී නිමිත්ත පිරිමියාගේ ශුක්‍රානු පහ කිරීම සදහා භාවිතා කරන්නට ඉඩ දීමය.ඉද හිට  ඕනෑවට එපාවට කරන සහ කාර්යෙන් ඉක්මණින් ගැලවීමට කරන සිප ගැනීමක් ඇරෙන්නට ලැබෙන වෙනත් උත්තේජනයක් නැත.එය ආදරණීය සොදුරු මතක සටහනක් ලෙස ජීවිතයට එකතු වන යළි යළිත් පෙළඹවීම් සහිත ක්‍රියාවක් බවට පත් වන්නේ ඉතාමත් කළාතුරකින්ය.

පිරිමි ද එබදුය.සල්ලි වලට ගත් බඩුව රිසි ලෙස හසුරුවන්නට යන්නේ යාන්ත්‍රික මනසින් වන නිසා,ඇට මස් සහිත හදවතක සහ සිරුරක එකතුවෙන් සෑදෙන මිහිරක් ඒ තාවකාලික ආස්වාදයට එකතු කර ගන්නට ඔවුන්ට හැකි වන්නේද නැත.ඒ නිසාම ගණිකාවක් සමග වන ඇසුර බොහෝ විට හැගීම් විරහිත සුළු කාලයක් ලෙස පිරිමි සිත් තුළ කළකිරීම ඇති කරන්නක් වුව ද,යළි යළිත් සිය සිතේ අවශ්‍යයතාවය නිසාම තැනින් තැන ස්පර්ශ කරන සිත බිදී නොයන්නේය.ඒ නිසාම ස්ත්‍රී ලෝලයා ද,දිනෙන් දින සමාජයට ඒ පිරිමි අවශ්‍යයතාවයන් වෙනුවෙන් සේවය සබයන්නට එකතු වන ගණිකාවෝද හිග නොවෙති.

බට්ටි ද එවැනි මස් වැදැල්ලක්ය.බොහෝ විට පිරිමින් හැසිරෙන්නේ සිය අවයවය යොමාලන්නට මස් වැදැල්ලක් සොයන අය ලෙස ය.එවැනි පිරිමින් වෙනුවෙන් සේවය සම්පාදනය කළ බට්ටි ගේ සේවය ගැන සංතර්පනයට පත් නොවූ පිරිස් ද බට්ටිට ගල් ගසන්නට ඉදිරිපත් වූවන් අතරේ සිටින බව නිසැකය.ඒ අතරම බට්ටි ගොඩ වුණ ත්‍රී රෝද රථ වලින් බට්ටිගේ රුපියල් ශත සිය ආදායම කර ගත් පිරිසට බට්ටි හෝ බට්ටිගේ සාමාන්‍ය මිනිස් අයිතවාසිකම් වැදගත් වූයේ නැත.ඔවුන්ගේ හිත කිව්වේ පාරතොටේ නිමක් නැතිව රථවාහන නීති කැඩීම වෙනුවෙන් දඩ ගෙවන්නට සිදු වීමේ අවධානමින් මිදීමේ උවමනාවය.අනිත් කාරණය පාරටම බැස ගනිකාවක්ට පහර දීම පිළිබද විරෝධය පළ කළ විට සමාජයේ  සාධු චරිතයක් ලෙස කැපී පෙනෙන්නට ලැබෙන ඉඩ කඩය.

'බඩුකාරයෙක්' නෙමෙයි යනුවෙන් සටහන් කර ගැනීමෙන් සමාජ අවකාශය තුළ ක්‍රියාත්මක වීමට ලැබෙන ඉඩ තුළ වෙනත් ගැහැණු අවධානයක් දිනා ගැනීමට ඇති හැකියාව ද මෙහිදි ඇතැමෙක්ගේ අවධානයට ලක් වූ වාට සැක නැත.ඒ නිසා බොහෝ දෙනෙක් බට්ටි විරෝධීන් වීම හරහා පෙන්වීමට උත්සාහ කළේ සිය හෘද සාක්ෂියට සැගවී තමන් පිළිබද යථාර්තය සගවාගෙන ලෝකයට වෙස් මුහුණකින් පෙනී සිටීමේ උවමනාව බව පැහැදිළිය.ඒ වෙස් මුහුණ ගැලවීමට ඇතැමෙක්ට උවමනා වන්නේ ද බට්ටිව පමණි.වෛශ්‍යා වෘත්තීය නීතිමය රාමුවක් ඇතළේ නීතිමය සහනයක් ලැබෙනාකාරයට සහ පිළිගත් සෞඛ්‍යමය නීති පද්ධතියක් ඇතුළෙ ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය සමාජ පරිසරය සැකසීමට ඊනියා සමාජ සදාචාරවාදීන්ගේ ගුබ්බෑයම් වලට පහර ගැසීමට භාවිතා කරන්නේ නැත.

ඉහත සමාජ වටපිටාව ගණිකා වෘත්තීය වෙනුවෙන් නිර්මාණය වීම අත්‍යවශ්‍යය වන්නේ ගණිකාව නිර්මාණය වීමට අවශ්‍යය වට පිටාව මේ සමාජය තුළ ඕනෑවටත් වඩා පැතිර තිබෙන නිසාය. එය පවතින ව්‍යහුය ශක්තිමත් කිරීමට දර දිය අදින බොහෝ සමාජ ක්‍රියාකාරීන් මුල තිබියදී අතු කපන්න යෝජනා කරන්නේ සිය බඩ කටට මුල් තැන දී බව පැහැදිළිය.ඒ නිසා බට්ටි යනු හුදෙකලා අසාධාරණයකට ලක් වූ චරිතයක් ලෙස ගණන් නොගෙන පවතින සමාජ ව්‍යහුය විසින් නිර්මාණය කරන සහ එම ව්‍යහුයේ සදාචාර ගල් පහරට ලක් කරන අවමානයට සහ අසාධාරණයට පත් කරන වෘත්තියක් ලෙස සැළකිය යුතුය.

පොලිසිවල නිලධාරීන්ගේ නඩු ගණන බැලැන්ස් කරන්නට මාස කිහිපයකට වරක් දගගෙයි ලැග එන්නටත්,දිනපතා කිසියම් මුදලක් සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට වැය කරන්නටත්,ඇතැම් විට ඒ වෙනුවෙන් ලිංගික අල්ලස් සැපයීමටත් සිදුවන සහ රැකවරණයට සොයා ගන්නා පිංපියාට කුඩු සම්පාදනයේ සිට කායික තෘප්තිය සැපයීමේත් පීතෘත්තවය නැති දරුවන් ජාතකයේත් ඛේදණීය ඉරණමට ගොදුරුවන බට්ටිගේ වෘත්තිය පිළිබද මේ සියල්ල සාකච්ඡා කිරීමට වේදිකාවක් තනා දීමට බට්ටි කෑ වේවැල් පහර වලින් ලැබුණු පන්නරය,සිය දේශපාලන ව්‍යාපාරවල උවමනාවන් වෙනුවෙන් දියකර දැමීම වෙනුවට ගණිකා වෘත්තීය පිළිබද සමාජ කියැවීමක් උදෙසා භාවිතා කරන්නට අවශ්‍යය බව සැබෑය.එසේ නොවන තැන් හී වීඩියෝ පෝන් වලට සැග වී මේ කාකි කෝට් කාරයින් බොහෝ දෙනෙක් ගණිකාවන් සිය නීතිමය අවයවයෙන් දූෂනය කරන්නට,මර්ධනය කරන්නට ඉදිරිපත් වන බවනම් සැක නැත.

දැනුවත්ව හෝ නොදැනුවත් ව හෝ අප විසින් පෝෂණය කරන සහ පවත්වා ගෙන යන ක්‍රමවේදයේ පලයක් ලෙස ලැබෙන බට්ටි නිර්මාණය කිරීමේ අයිතියෙන් ගැලවෙන්නට කාටවත් නොහැකිය.මම යන්න නොසිතා වඩා පුළුල් ආකාරයකින් මේ කාරණය පිළිබදව හිතා බලන විට අපි කියන සමූහය ඇතුළේ තමන් සිටින බව කෙනෙකුට පැහැදිළි කර ගැනීමට අපහසු නොවන බව මගේ විශ්වාසය.ඒ නිසා බට්ටිට ගල් ගසන්නට ඔබ ගල් ඇහිදින්නේ මඩ ගොහොරුවකින් බව සිතිය යුතුය.ඒ නිසා ඔබ ගැසූ ගල්වල තිබුණු මඩ ලකුණු සහ දුර්ගණ්ධය දැන් ඔබට ඔ‍බේ හදවතෙන්ද දැණෙනු නිසැකය.

ඒ නිසා මම යළි කියමි.මම සංවාදයට තරමට ම සංවාසයට ද කැමැතිය.ඔබ ඉදිරියේ ඇති ගොහොරුවේ ඊට විරුද්ධව ගසන්නට ගල් තිබෙන බව ද මම දනිමි.

Thursday, September 11, 2014

ජීවිතය අන් තැනෙකට

මේවා එක අතකින් අදෝනාය.සමහර විට මට පමණක් වැදගත් කතාය.ඒත් පිටාර දාන කොට වැවක් වුණත් නවත්තන්න බැහැ.මේකත් එ වගේ.පුතාගෙ පාසල් ගමණ නවත්තන්න වුණා.ඇත්තම කිව්වොත් නැවත්තුවා.

ඒකට කාරණා දෙකක් බලපෑවා.පළමු එක විශේෂ අධ්‍යාපන අවශ්‍යයතා ඇති දරුවෙක් විදිහට ඔහුගේ ජීවිතයට සම්ප්‍රදායික පංති කාමරය ඇතුළෙන් ලැබෙන ශක්තිය මදිකම.එහෙම සාමාන්‍යකරණය කිරීමේ විධිමත්බවක් නැති වීම.සමායෝජනය ලෙස ඔහුට ලැබෙන සහයෝගය වැදගත් නමුත් ඒ සදහා වෙනත් අවස්ථා ඇති සහ කුඩා කළ සිටම හොදින් මානව සබදතා පවත්වා ගෙන යාමට ඔහුට ඇති හැකියාව සහ උනන්දුව නිසා ඒ සදහාම පාසල් යැවීම අනවශ්‍යය බව හැගිණ.

දෙවන කාරණය ආර්ථිකය විය.ඔහු විශේෂ අධ්‍යාපනය ලැබූ පාසල බොරැල්ල සීවලිය ය.තවත් ආකාරයකට කියන්නේ නම් වනාතෙ සීවලිය විය.එයට පාසල් වෑන් රථ වලින් දරුවන් නොඑයි.වැඩි දෙනෙක් ඒ අවට පැල්පත්වාසී දරුවන්ය.කීර්ති කේ රත්නායක ජීවත් වූයේ මේ පාසල අසළින් වැටී ඇති මගෙහිය.දැන් ඔහු එහි නැත.අදටක් ප්‍රේම ජයන්ත කපුගේ ගේ නිවස ඒ ආසන්නයේ වෙයි.මේ වර්ථමාන නාට්‍ය කලාව සමග රැදී සිටින හොද යැයි සම්මත නිර්මාණ සදහා දායකත්වය දක්වන ගැඹුරක් ඇතැයි සිතන දෙදෙනෙක්ය.එසේම ගාමිණි වියන්ගොඩයන් වනාතේය.ජ්‍යෙෂ්ඨ සහ දක්ෂ පරිපාලකයෙක් ලෙස ප්‍රකට ජාත්‍යන්තර සබදතා ඇති හේමසිරි ප්‍රනාන්දු හැදී වැඩෙන්නේද මේ ගමේය.හේමසිරි ප්‍රනාන්දුගේ පියා මේ පාසලේ ආරම්භක විදුහල්පති මෙන්ම හේමසිරි මෙහි ආදි ශිෂයයෙක් ද වන්නේය.

එහෙත් ලෝකය දන්නේ මේ අය නොවේය.විහේෂයෙන් මාධ්‍ය විසින් වනාත අනාත කළ පසු ඇති වී තිබෙන පීඩනය නිසා එහි සිටින්නේ කචල්කාරයෝ පමණක් යන චිත්‍රය එහි සිටින මිනිසුන්ගේ නැගිටීමට එරෙහිව නැගෙන බව මා අවබෝධ කර ගත් සත්‍යය වන්නේය.වනාතේ වූ ගමන් පොලිසියට ඊළග ආමන්ත්‍රණය හැදෙන්නේ කුණුහරුප සමගය.මේවා වෛරය බවට පත් වී එහි බහුලව දැකිය හැකි සමාජ විරෝධින්ගේ රැලි තුළම ඊ ළග පරපුර ගිලී යන්නේ ගොඩ ඒමක් නැති බවට සමාජයෙන් කරන බපපෑම මතම බව මට හැගෙන්නේය.

දෙවන කාරණයට පිවිස වටේ යන්නට සිදු වීම කණගාටුවට කරුණකි.එහෙත් එසේ නොයා බැරිය.මේ සමාජමය චිත්‍රය නිසා පාසල් වෑන් රථ හෝ දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීවිල් මේ පාසලට නොයන්නේය.එකක් ඒ පිළිබදව ඇති කර තිබෙන හුඹස් බියය.දෙක එම වාහනයේ යන දරුවන්ගේ දෙමව්පියෝ සිය දරුවන් වනාතේ සීවලිය ළගින් දරුවෙක් ගන්නා වාහනයක සිය දරුවා යැවීමට මනාප නැත.ඊට මගේ දරුවා විශේෂ දරුවෙක් වීම සහ ඔහු පෙළෙන්නේ මන්ද මානසික තත්ත්වයක යන්නද එක් වූ විට එම දෙමව්පියන්ගේ ඔළු ගෙඩි ඇතුලෙ හැදෙන්නේ වනාතෙ අපරාධකාරයන්ගෙ තිප්පලේ තියෙන පාසලෙන් අපේ දරුවන් එක්ක එන්න පිස්සු කොල්ලෙක් නග්ග ගන්නව නම් අපි කොහොමද ඒ වාහනේ අපේ ළමයි අරින්නෙ යන ප්‍රශ්නයය.

මේ නිසා දුව මසකට රුපියල් 2100 ට වාහනයේ ගමන් කරද්දී,පුතාට දවසකට රුපියල් 300 ක් වියදම් කරන්නටත් ඔහු රැගෙන එන්නට මට එහි යාමටත් සිදු වන්නේය.ඒ ප්‍රදේශය බස් පාරකට අත වනන දුරින් නැති නිසා පුතාව සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවයක රැගෙන ඒමත් දුෂ්කර වැඩකි.හැමදාම අතේ 300 ක් තියාගෙන සිටීම අනිවාර්ය කාර්යයක් වුවත් බන්ධනාගාර නාට්‍යය ඇසුරේ වෙහෙසෙද්දී ඒ තත්ත්වය වෙනස් විය.පොරොන්දු පරිදි සුළු මුදල ගෙවා ගන්නට හෝ මුදල් සොයා ගැනීමට එහි සුබසාධන අංශයට නොතිබි හැකියාව මත පුතාගේ පාසල් ගමණ මාස එක හමාරක පමණ කාලයකට සම්පූර්ණයෙන් නැවතී ගියේ  වෘත්තිමය වශයෙන් සුබසාධන ක්‍රියාවලියක් සමග බැදුණු වෘත්තිකයන් පිරිසක් මගේ සුබසාධනය හා බැදි කාරණා සදහා අල්ප මාත්‍රයක වටිනාකමක් හෝ නොදීම නිසාය.ලංකාවේ රාජ්‍ය සේවයේ නි්මාණශීලී චින්තකයන් දැඩිව හිගය යන මතයේ පිහිටා මමම තනියෙන් තෙත් කර ගත් ඇසින් එය ඉවසුවෙමි.

අනතුරුව මේ වාරය ඇරඹෙන විට මා තීරණයකට එළැමුනෙමි.ඒ ඉහත කී කාරණා දෙක පදනම් කර ගනිමින්ය. පළමු ඉලක්කය ඔහුට වෘත්තීය පුහුණුවක් ලබා දීමය.වසරක කාලයක් ඔහු ඒ සදහා නිවසින් බැහැරව සිටිය යුතුය.එය දරා ගැනීමට අපහසුම කරුණකි.වයස 16 ක් වුවත් මා පිටබැලිව නිදි
කොට එය සයනය කොට මා වැළද ගෙන නිදන්නට පුරුදු වී සිටින පුතා ට ඇති එකම ප්‍රශ්නය ද එයය.

මං කොහොමද තාත්ගෙ පිටේ ඉන්නෙ...?

එහෙත් ඔහු ජීවත්වීම සදහා යමක් කළ යුතුය.ඒ සදහා ඒ වේදනාව හැඩූ කදුළින් ඉවසන්නට මට ද සිදු වී ඇත.මා පවුල කියන ඒකකය තුළ සියළු විදීම් සහ විදවීම් සමග රන්දා තැබුවේ මපුතුය.මා ඉහත සටහන තුළ කියූ පරිදිම ඔහු වෙනස් එකෙක් ලෙස අගය කරන සිස්ටම් එකක් වෙනුවට ඔහු සාමාන්‍ය ජනයා ප්‍රතික්සේප කරන්නට ඇති ඉඩ වැඩිය.එය අවම කර ගත හැක්කේ ඔහු සතු වෘත්තීයමය දැණුමකින් යන්න මා විශ්වාස කරයි.ඒ අනුව මේ වන විට ඉලෙක්ට්‍රොනික් සහ ආහාර තාක්ෂනය ඉගෙන ගැනීමට ඉල්ලුම් කර ඇති අතර ඉදිරි දිනෙක ඔහු වඩාත් ගැලපෙන දෙයකට ඇතුළත් කරගෙන සීදුවේ රදවාගනු ඇත.ජීවිතය රදවා ගන්නට මතු දිනෙක ඔහුට එය අත්වැලක් වනු ඇතයි මම විශ්වාස කරමි.

පුතුගේ උපත වෙනුවෙන් මා ලියූ සටහනක් මෙසේ සටහන් කර තබමි.එය ගීතයක් කර ගන්නට ඇරයුම් කිහිපයක් ලැබුණද මට ඒමොහොතේ එවැනි උවමනාවක් නොතිබිණ.නමුත් අද එ් සදහා අකමැත්තක් නැත.නමුත් එයට සැළකිය යුතු ආර්ථික වටිනාකමක් දී පුතුගේ ගිණුමේම එය තැන්පත් කළ යුතුය.

හීනවැට මායිමේ
හීතලට තුරුළු වී
දුරුතු හද පිපුණා
ඈත යන මාරුතේ
ඈතටම තල්ලු කර
මං හදට එබුණා

පාට මල් කුඩ පොකුරු
පාමුලේ සුවද දී
බඹර විය ගෙවුණා
සාගරේ තරමටම
ආදරේ රැලි දිගේ
කිරි සුවද ගැලුවා

පෑල දොර අද්දරින්
සනුහරේ නෝක්කඩු
ගොළුවෙලා මැකුණා
දෑත පා හුරතලෙන්
රෝස පෙති අත ගගා
හෙමි හෙමින් ඉම්බා

මෙය එකල දිණමිණ පුවත්පතේ මෙත්ලාල් සංස්කරණය කරන ලද කවි පිටුවෙහි පළ විය. 

Saturday, August 30, 2014

වාරියපොලෙන් කොළඹට

පහු ගිය කාලයෙ හරියට වැඩ තිබුණා.නාට්‍යය මාව හිර කරලා තිබ්බා.ඒ බරෙන් සම්පූර්නයෙන් නිදහස් නැහැ.මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස එකතු කරලා මගේ වේදිකා නාට්‍ය්‍ය හීනයක් නොවී වේදිකාව මත පණ ලැබුවා.දැන් තව බරක්.මේ ඉපදෙච්චි එකා නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් කතා කරන අතරෙ මට අමතක කරන්න බැරි උදව් කරපු බ්ලොග් මිතුරන්ට ශීර්ෂ ප්‍රනාමය දක්වමින් අතපසු වූ දෙයක් ලියන්න හිතුවා.

පසුගිය දවස් වල කාගෙත් බයිට් එක වුණේ සෙල්වා සහ ඉමල්කා.ඉමල්කා සමහරුන්ට වීරයෙක් වුණා.ඒකට සෙල්වා දෙමළෙක් වීමත් බලපෑවා.තව සමහරුන්ට සෙල්වා ආරක්ෂා කරන්න අකුරු ආවෙ ඉමල්කා ගැහැණියෙක් වීම නිසා.

මේ ලිංග බේදය සහ ජාති බේදය විසින් සෙල්වා සහ ඉමල්කා අතර ඇති වූ සිද්ධිය බයිට් එකට ගන්න පුළුවන් වෙන අතරෙ 48 න් පස්සෙ අපි ගැහැණු පිරිමි ජාති කුල කියන සංකල්ප වලින් මිදිලා රටක් හැටියට නොහිතපු එකේ සහ නොහිතන එකේ ඛේදවාචකය.

ඔය යෝනියයි පුරුෂයගෙ ශිෂ්නයයි පැත්තකට දැම්මම මේ දෙන්නම මිනිස්සු.මිනිස්සුන්ගෙ හැකියාවල් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මේ ලිංගේන්ද්‍ර දෙකේ ඔතල ඒවෑ හැඩේට මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් සිදු විය යුතු හැටි තීරණය කරන්න යන එක නිසා ඇති වන කලබැගෑනිය මේ දෙන්නගෙ සිදු වීම් එක්ක එළියට පැන්නා.මේ නිරුවත තමන්ගෙ නිරුවතේ කැත පෙන්වන කැටපතක් කියලා නොදැන හුග දෙනෙක් තමන්ගෙ හැදුණුම්පත ප්‍රසිද්ධියෙ එලියට දැම්මා.

රටටත් වෙන පොදු ක්‍රියාවකටවත් කිසිසේත්ම සම්බන්ධ නැති සෙල්වා සහ ඉමල්කා අතර සිදු වූ පෞද්ගලික ආරෝව ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් කර ගත්තු අය අපේ සංස්කාතියෙ අපූරු කලා අංගයක් හැටියට දීර්ඝ කාලයක් තිස්සෙ පවතින කලාංගයක් ජීවත් කරවන්න හදන මේ කෙල්ලො ටික පේන්නෙ නැහැ.මම කියන්නෙ ඉමල්කට ලැබුණු ප්‍රසිද්ධයට වඩා මේ කෙල්ලො හතර දෙනා මේ සමාජය පිලිගත යුතුයි.

පර්සිගෙ සහ සරත් ගෙ වාද බයිලා කලාවෙ හෙට දවස පමණක් නොව ලාංකේය වාද බයිලා කලාවෙ හෙට දවසටත් බොහොම වැදගත් මේ කෙල්ලො හතර දෙනා ඉමල්කට වඩා බොහොම වටිනවා.හැබැයි හුග දෙනෙක්ට ඉමල්කව තමන්ගෙ නිරුවත හෝ ඇදිවත කර ගන්න පුළුවන්.ඒ කියන්නෙ නිරුවත පේන විදිහට කතා කරන්න වගේම නිරුවත වහ ගෙන සමාජය මුලා කරන ප්‍රලාප ටිකක් ඇද බාන්නත් ඉමල්කා හොද මාතෘකාවක්.

ඒත් මේ කෙල්ලො ගැන එහෙම කරන්න බැහැ.කතා කරන්න වෙන්නෙ වාද බයිලා ගැනමයි.හොද හෝ නරක ලෙස කලාවක ඉදිරියට බලපාන කරුණු වල සාධනීය නිශේධනීය කාරණා කතා බහ කරනවා ඇරෙන්න සිය පැවත්මේ න්‍යාය පත්‍රයකට මේ කෙල්ලන්ව දා ගන්න බැහැ.ඒ නිසාම උන් ගැන කතා වෙන්නෙම නැහැ.

බලන්න කතා කරන්නම ඕනි ද කියලා මම කියනවට මේ ලින්කුවෙ
https://www.youtube.com/watch?v=ANC62YL9vJk තියෙන වාද බයිලා ටික අහලා.ඒ වගේම බලමු මේ කලාව රැක ගෙන උන්ට ඉදිරියට යන්න මොනවද කරන්න පුළුවන් කියලා.

Wednesday, July 30, 2014

ධර්මසිරිගේ රුවන්වැකි


අද දවස ඇරඹුණේ පොඩි අසනීප ගතියක් ඇගට වද දෙද්දි.අද අමාරුවෙන් හොයා ගත්තු සල්ලි ටවර් එකට බදින්නම වෙනවා.එහෙම යන්න ලැහැස්ති වෙද්දි අනුර කේ ගෙන් කෝල් එකක්.

අද හවස වෙඩ්ඩලගෙ සනාලගෙ වැඩේට යනවද?

අනුරගෙ හඩ වෙනදට වැඩිය වෙනස් විදිහට ඇහෙනවා වගේ.උං හරියට ලංකාවට ගෙනත් තියලා වගේ.තව ටිකකින් අපේ ගේට්ටුව අැර ගෙන බොතලේකුත් අරං ඇතුල් වෙන්න නියමිතයි වගේ.කට්ටිය එක පෙළට වැටිලා හොදට ගහලා නිදා ගන්න පිළිගන්න ඉස්තෝප්පුව සූදානම්.හීනියට ඇහැ තෙත් වුණා.ඒත් අැඩුවට ඒ ඇස් වලට කැමති දේවල් පේන්නෙ නැති කොට මොනව කරන්නද?

අසනීපෙ නිසාම මම ෂුවර් නැහැ කිව්වා.උංගෙ උස් හඩ නැතිව අකුරු ගැන මොන කතා ද?ලියන දේට වැඩිය දැනෙන දෙයක් ඒ ඇසුරු වලින් විද තිබුණු මට උං වටින්නෙ මනුස්ස පුත්‍රයො හැටියට.මේ අකුරු දිගේ එන උංගෙ දේශපාලනය වගේම ලංකාවෙ දේශපාලනයට මැදිහත් වෙන විදිහෙ දෛනික ලිවීමකුත් උංගෙ අතින් වෙන්නෙ නැහැනෙ කියන දුකත් පොඩ්ඩක් නැතිව නෙමෙයි.ඒත් මොන මගුල කිව්වත් මේ පිටුවහල් වීමේ සිස්ටම් එකට විරුද්ධව ඇති වු අපුලත් එක්ක පාරට බැස්සා.පර්ස් එක ගෙදර.ඒත් සල්ලි අතේ.අමතක වීමට ආපහු හැරෙන්න ඕනි වුණේ නැහැ.

ගොඩ වෙන කොට ටවර් එකට කොළඹ ආනන්ද බාලිකාවෙ නාට්‍යය ප්‍රසංගය.ප්‍රධාන ආරාධිතයා ධර්මසිරි බණ්ඩාරනායක.මම පිටු පස්සෙ ඉදං හෙමිහිට ඔළුව දැම්මා.කොළම කළාපයෙ නාට්‍ය හා රංග කලා ගුරු උපදේශක සෙනවිරත්න රොද්‍රිගෝ ත් කාලෙකට පස්සෙ හම්බ වුණා.පළමුවෙන්ම කතාවකට වේදිකාව විවර වුණේ සහකාර අධයක්ෂ වරුණ අලහකෝන්ට.අපි නාට්‍යය පටන් ගන්න කාලෙ අපෙ වයසෙ හිටපු සටන්කාමී තරුණයෙක්.ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ ජයතිස්ස අලහකෝන්ගෙ පුත්‍රයා.එපමණක් නෙමෙයි වරුණත් මට මතක හැටියට වරක් යෞවන සම්මාන උළෙලෙ හොදම සංගීතයට හිමි සම්මානය ගත්තා.ඒ කෙටි නාට්‍ය අංශයෙන් කසුන් කුමාරතුංග අධයක්ෂණය කළ අබලන් ගේට්ටුව නාට්‍යයට.ඒකෙ රගපාපු අසේල ජයකොඩිගෙ පළවැනි යෞවන සම්මානය වුණේ ඒ රංගනය වෙනුවෙන් ලැබුව හොදම සහය නළුවා සම්මානය.කසුන් නම් ඒ කාලෙම රට අතෑරලා ගියා.මතක හැටියට ඉතාලියට.

වරුණ සහ සහකාර අධයක්ෂවරයා අතර විශාල පරතරයක් හැදිලා.ඉවර වෙලා කතා කරන්න ඕනි කියලා මුලින්ම ආපු හැගීමත් යටට ඇදලා දාලා එළියට ඇවිත් ටවර් එකේ පිටිපස්සෙ පාරට පැනලා කඩ බිත්තියකට හේත්තු වෙලා සිගරටි එකක් බිව්වා.ධර්මසිරිත් මේ ස්කෝලෙ වැඩේ නිසා ඇල් මැරුණු වචන ටිකක් වීසි කරල යයි ද දන්නෙ නැහැ.

වීසි කරන එක බලන්න ඔතන ඉදල හරි යනවද?පලයං... මට හිත කිව්වා

දෙවැනි පාර පිටිපස්සෙ සෙට් වෙද්දි ධර්මසිරි වචන වීසි කරනවා.හැබැයි වීසි වෙන්න නොදී ඇහිදලා දා ගන්න ඕනි දේවල් කියන්නෙ.ඇස් වලට අර උදේ හැදිච්ච ලෙඩේ හැදී ගෙන එනවා.මම කණ්නාඩි දෙක දා ගෙන ධර්මසිරි දිහා බලං හිටියා.

මේ දරුවො පාසල් අධ්‍යාපනය ඉවර වෙලා විශ්ව විද්‍යාලයට ගිහාම මොනවද ලැබෙන්නෙ?වතුර බවුසර් බලං ඉන්නවා නාලා නැහැ කියල හිතං වගේ නාවන්න.

ලංකාවේ දේශපාලනය ශිෂ්‍ය පරමපරාවට දක්වන ආදරය ගැන කියපු ධර්මසිරි ඒ අතරින් කියපු වැදගත්ම කාරණා දෙක විතරක් මෙතන සටහන් කරහම ඇති කියලා මට හිතුණා.

ධර්මසිරි ට මේ ආරාධනාව ලැබෙන්නෙ මේ වන විට රටේ ඉන්න සිරාම කලාකාරයො කියල පෙනී සිටින ලිස්ට් එකකට කළ ආමන්ත්‍රණයට පසුවයි.ඒකත් අඩුවට ගෙන්න ගන්න.මොකද ඇතැම් කලාකාරයො මේකට එන්න කිව්වම ඉල්ලල තියෙන ගාණ රුපියල් 65,000 ක් වගෙ.ධර්මසිරි මේවා ඉස්සරහට නම් එක්ක හෙළිදරව් කරනවා කිව්වා.හැබැයි එතන හෙළිදරව් නොකරන්න ඇත්තෙ ආනන්ද බාලිකාව හොද අතට වර්ධනය කරමින් ඉන්න විදුහල්පතිතුමිය ට අත් විය හැකි ඉරණම ගැන හිතලා.

ඔන්න අනාගතය ගැන සුබ කරන්න කතා කරන්න අයගෙ වැඩ.මේ අය අතර වාසලේ වැඩ කරන වන්දිභට්ටයොත් ඉන්න බවයි ධර්මසිරිගෙ කතාවෙන් පස්සෙ ආව ඇතැම් කසු-කුසු වලින් ඇහුණෙ.සමහර වෙලාවට මෙතන ධර්මසිරිගෙම නාට්‍යවල වැඩ කරපු රංගන ශිල්පීන් ඇති.තත්ත්වය මේකනම් මුන්ට හදිස්සියකට සයවර් කඩයකට වද්ද ගන්නත් බයයි.මේ කරන ඒව දැන ගත්තොත් මේ වගෙ එව්වො ගොඩ වෙන කඩේකින් බල්ලොත් බත් කන්නෙ නැහැ.ඒත් මේ අය හිතං ඉන්නෙ කඩේට ආලොක්යක් එකතු වුණා කියලනෙ.ඒ නිසා සල්ලි නොදි යයි.මුදලාලිගෙ පපුවෙ ගින්දර තියලා.

ධර්මසිරි කතාව ඉවර කළේ ඩේවිඩ් පියතුමාගෙන්.යාපනයේ පුස්තකාලය ගිනි ගනිද්දි ඒ පණිවිඩය දුරකතනයකින් අහපු ඩේවිඩ් පියතුමා මිය ගියා.භාෂා 17 ක් කතා කළ හැකිව තිබූ එතුමා ට මිය යන්නට සිදු වුන ආකාරයේ සිදුවීමක් යළිත් සිදු නොවේවා යන්න ධර්මසීරිගෙ ප්‍රාර්ථනය වූවේ දරුවන්ට දිය හැකි හොදම පණිවිඩය ඒ සිසුවියන්ට සිය ඥානයෙන් ඇද ගන්නට මාවත සකසමින්.

දැණුම ජීවිතය තරම්ම වැදගත්.පොත පත යනු ජීවිතයයි.ඒ ජීවිතය පරිස්සම් කර ගන්න.

මේ දේ කියන්න ධර්මසිරි තෝරා ගත් සිදුවීමේ අප විසින් නොතකා හරින ලද ජාතියේ සියළු අවාසනාවන් සහ දේශපාලනික අද බාල බව කදිමට තිබුණා.

ඒකට සමවැදිලා ආපු මට රිහසල් කරන්න තරම්වත් හයියක් තිබුණේ නැහැ.අසනීපයි.මම කොහොමද ඉතිං සනත්ලගෙ මංජුලලගෙ අකුරු ඉඹින්න යන්නෙ.මම ගෙදර ආවා.ඒත් ධර්මසිරිගෙ වචන නිදියන්න දෙන්නෙ නැහැ.අමාරුවෙන් නැගිටලා මම මගේ අකුරුත් අවදි කළා...

Thursday, July 24, 2014

කළු ජූලියේ මගේ වීරයා

ජාතියට ආගමට නොව මිනිස්සුන්ට ගරු කළ යුතු බව මට කීවේ තාත්තාය.කතෝලික මවක් සහ බෞද්ධ පියෙකු අම්මා සහ තාත්තා වූ මගේ තාත්තා මගේ අම්මාගේ බැදීමත් එක්ක කතෝලික කම අත හැර තිබුණේය.එහෙත් ඔහු කවදාවත් කතෝලික කමවත් බෞද්ධකමවත් බැද ගෙන සිටියේ නැත.අම්මාගේ විවාහයෙන් පසුව රත්නපුරයට එන තාත්තා ට අප ජීවත් වූ ප්‍රදේශයේ කතෝලික ආගම් සංස්කෘතියක් නොතිබීම ද ඔහු බෞද්ධයෙක් ලෙස මතු වන්නට හේතු වන්නට ඇත.රත්නපුර ගල්ලෑල්ල පුරාණ විහාරයේ පෙරහැරේ ධාතු වැඩමවීම සදහා ද සහභාගි වූ තාත්තාට, මල්වල,දෙහෙනකන්ද,බානගොඩ වැනි ප්‍රදේශවල විහාරස්ථාන සමගත් ලොකු සම්බන්ධයක් තිබුණා.ඒ වගේම ගලබඩ,හපුගස්තැන්න වැනි ප්‍රදේශවල කෝවිල් වලටත් තාත්තා ගේ සහභාගීත්වය ලැබුණා.

මේ තාත්තාගේ සාමාන්‍ය තත්ත්වය වූ අතර හැම ආගමකම,ජාතියකම මිනිසුන් බෙහෙවින් ඔහුට ආදරය කළේ ඔහු මිනිසුන්ට දැක් වූ අසීමිත ආදරය නිසාමයි.ජීවිතයේ දෙවුන්දරතුඩුවේ ඉදල පේදුරුතුඩුව දක්වා මානව සබදතා තිබුණු තාත්තා හැම ජාතියකම ආගමකම මිනිසුන් ට බේදයකින් තොරව ආදරය කරන්නත් ඔවුන්ගේ මනුස්සකම්වලට ගරු කරන්නටත් පුරුදුව සිටියා.

ජූලි කළබලය ඇති වන මොහොතේ අප සිටි දුරෙක්කන්ද නම් වූ ගමට සිටියේ එකම දෙමළ පවුලයි.සුන්දරම් ඒ ගෙදර ගෘහ මූලිකයා වුණා.රට පුරා ඇති වූ මං පහරන ජාතිවාදි කොල්ලයේ උණුසුම අවට ප්‍රදේශ වල පැතිර තිබුණා.සමහර ලැයිම් වල කුකුළු කූඩු පවා ජාතියට දැක් වූ ආදරය වෙනුවෙන් සිංහලයන් අතින් හිස් වෙලා තිබෙන බවට තොරතොරු පැතිර ගියා.

රත්නපුර කහවත්තෙ පල්ලියකට ජීවිත ආරක්ෂාව පතා පැමිණි අහිංසක දෙමළ ජාතිකයන් මරා දමා තිබූ ම්ලේච්ඡ ආකාරය ඒ වෙන විටත් පැතිර ගියේ සිංහලකම ට, මංකොල්ල කන්නට සහ අහිංසකයන් මරා දමන්නට තටු අන්දවමින්.මේ සිද්ධිය වෙනකොට තාත්තා හිටියෙ කහවත්තෙ.ඒ වන විට හුසෙයින් මැණික් ආයතනයේ සේවය කරපු තාත්තාට මේ ම්ලේච්ඡ සිදුවීම සමග සිහියට නැගිල තියෙන්නෙ සුන්දරම්.

රටම ඇදිරි නීතියෙන් අදුරු වෙලා තියෙන මොහොතක තාත්තාට ගෙදර එන්න වාහන තිබිලා නැහැ.පො‍ලීසිය දන්න කෙනෙක් වීමේ ආරක්ෂාවත් සමග පාරට බැස්ස තාත්තා පයින්ම එන්න පිටත් වෙලා.අතර මගදි පොලිස් වාහන වලින් පොඩි දුරකට ප්‍රවාහන පහසුකම් සළසා ගෙන.දෙමනගම්මන ගෝනකුඹුර හරහා සැතපුම් තිහක පමණයැයි සිතිය හැකි දුරක ගෙවා නිවසට පැමිණියා.ඇටිකෙහෙල්පොල සිට කම්බි පාලමෙන් අන්ධකාරයේ පැමිණි තාත්තාගෙ පය ලිස්සා සිදු වූ තුවාලයෙන්ද,කූඩැල්ලන් විසින් ඇති කරන ලද තුවාල වලින් ද ලේ වැගිරෙමින් තිබුණු අතර නිවසට පැමිණි වහා මාත් සමග සුන්දරම්ලාගේ නිවස බලා කන්ද තරණය කළා.

'අනතුරක  ඉව' විසින් බිත්ති හතර ඉතිරි කළ සුන්දරම්ලා නිවෙසින් පලා ගොස් තිබිණ.සුන්දරම් සුන්දරම් යැයි තාත්තා හඩ තලන්නට විය.පිළිතුරක් නැත.රබර් යායත් ඊට  උඩින් පිහිටි කැකිල්ල යායත් අදුරු හෙවනැලි ලෙසින් දිස් වුණා පමණි.

සුන්දරම් මම නෙවිල් මහත්තයා.......

ප්‍රකාශයෙන් ටික මොහොතකට පසු උඩ කැකිල්ල යාය සසැලින.පවුල් කිහිපයක එකතුවක් වූ ඒ ගෙදර සාමාජිකයන් අතර අවුරුදු දෙක තුන නොඉක්ම වූ අය ද වූහ.මතකයේ හැටියට උසම පුද්ගලයා වූ ගනේෂන් සුන්දරම්ගේ දියණිය වූ සත්‍යබාමා ගේ සැමියාය.අදුරු හෙවනැලි නැගිටි විට උස සහ මිටි වූ විවිධ ප්‍රමාණයේ සෙවනැලි දිස්වන්නට විණ.

ලොකු - පුංචි කම් නොසැළකු කූඩැල්ලන් සැමගේම සිරුර විද ලේ හැලීමෙන් ඇති වූ කැළල් සමග පිරිස තාත්තා වටා රොක් විය.අනතුරුව ජීවිතය ලබා දෙන්නට පැමිණි මිනිසා ඉදිරියෙ මහත් විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දෙදණ නැවින.පිරිස ට නායකත්වය දෙමින් තාත්තා පෙරමුණ ගත්තේය.මා හා සම වයසේ සිටි සත්‍ය අජිත් සමග මම මිනිස් පෙරහැරේ පසුපසටම වැටිණ.
මොහොතකින් අපේ නිදන කාමරය ඒ සියළු දෙනා වෙනුවෙන් වෙන් කර දුන් අප සාලයේ පැදුරක් එලා ගත්තේය.ඒ අම්මාත් තාත්තාත් මමත්ය.

තවත් ටික වේලාවකින් අපේ නිවස පසු කර ඉහළට (සුන්දරම්ලාගේ නිවස දෙසට ) යන හඩවල් කිහිපයක් ඇසිණ.තාත්තා දොර ඇරගෙන එළියට බැස්සේය.

පිරිස අපේ පතල්වල සිටි සහ සිටින පිරිසකි.

...........
අද වන විට විදුහල්පතිවරයෙක් බවට තොරතොරු ඇති තාත්තාම මැදිහත්ව ගුරු පත්වීම ලබා ගැනීමට උපකාරි කළ අයෙක් ගේ නම අඩ ගැසිණ.ඊ ළග මොහොතේ සියල්ලෝම අප ස්තෝප්පුවේය.පුංචි මිනිසෙක් වුව ද ශක්තිවන්තයෙක් වූ තාත්තාගේ පරික්ෂාවෙන් කඩු වැනි ආයුධ කිහිපයක්ද ඒ සරම් යට සැගවී තිබි එලියට ආවේය.

සුන්දරම්ල මරන්නද ......?

නෑ මහත්තයා අපේ ජාතිය ආගම......

පාසල් ගුරුවරයාගේ දේශනයට ඉඩක් නොතැබිණ.

සුන්දරම්ලා අපේ ගේ ඇතුලෙ ඉන්නවා.එච්චර දුර යන්න ඕනි නැහැ.හැබැයි මාව මරල තමයි මරන්න වෙන්නෙ.

කඩුව ඔවුන් වෙත දිගු විය.ඒ පළමු මරණය ලෙස තාත්තා ඉදිරිපත් වෙමින්ය.

මොකද උඹලගේ අම්මලා තාත්තල අඹු දරුවො උඹලව බේරල දෙන්න කියලා තව ටික දවසකින් මෙහාට එන කොට මට දරං ඉන්න බැහැ.හරක් ලිහලා දැම්මම වතු වලට පනිනවා.ආපහු ලිහල දාපු එව්වොම අල්ලං ඇවිත් වතු පාලු කළා කියල ගහනවා.

තාත්තා එදා කියූ දේ මට තේරුණේ බොහෝ කල් ගොස් ය.අපරාධ කරන්නේද මෙහෙයවන්නේද දඩුවම් දෙන්නේද යන සියල්ල එකම මෙහෙයුම් මැදිරියක සිට සිදු වන්නේය.අප කරන්නේ ඒ මෙහෙයුම් මැදිරියේ විධානයන්ගෙන් අපේ රුචිකත්වය තෝරා ගෙන එයට ශක්තිය දෙන්නට කැප වීමය.කළු ජූලිය නොව මේ සෑම යුද්ධයකම ම්ලෙච්ඡත්වය පිටුපස හේතුපාඨය ලෙස මෙයම ලියැවි ඇති බව නිසැකය.

කළු ජූලිය සිහිකරන මොහොතේ මම ඒ අසුන්දර දේ ම සිහිපත් නොකොට එම අරගලයේ මැරකම් සහ හොරකම් නිසා අසළ ගම් හැම එකකම අත් අඩංගුවට පත් වෙද්දී දුරෙක්කන්දේ එකෙකු හෝ අත් අඩංගුවට පත් නොවීම ගැනත්,සුන්දරම්ලාගේ ජීවිතයට තබා ඔවුන්ගේ නිවසේ සිටි කුකුළන්ගේ පිහාටුවකටවත් හානියක් නොවන්නට තාත්තා කළ උදාර මානුෂික මා‍ැදිහත් වීම ඇසට කදුළක් නංවන්නේය.ඒ දුකට නොව එයට දායක වූ ආත්ම සතුට හේතුවෙන්ය.ඒත් බොහොම ංවේදි මොහොතක් ගාණේ මගේ ඇසට කදුළු උනන්නේ නම් තාත්තා සිහි විම නිසාය.ඒ අඩුව ජීවිතයේ කවදාකවත් පියවන්නට නොහැකිය.

හැමදාම ඉන්න තිබුණා....

තාත්තා ගැන මට හිතෙන්නේම එහෙමය.හැමදාම මනුස්සකම් ක්ෂය වන ලෝකයේ තාත්තාගේ ආදරණීය මතකය ඇති මගේ මිතුරන් සහ තාත්තාගේ හිතවතුන්ට ද තාත්තා ගැන විවිධ අවස්ථාවල එවැනි හැගිම් ඇති වනවාට සැක නැත. 

Friday, July 18, 2014

අයියෝ ජෝන් !

මේ දවස්වල පට්ට අමාරුයි යමක් ලියන්න.ඩ්‍රාමා එකේ වැඩ.7 සහ 8 පෙන්නන්න තිබුණු වැඩේ 26 සහ 27 දක්වා කල් ගියා.ඒ හෝල් එකත් වෙනස් වෙලා.දැන් හෝල් එක ටවර් හෝල් එක.26 සහ 27 ටවර් එකට එන්න.හැන්දෑවේ 6 .00 ට තමයි වැඩේ පටන් ගන්නෙ.

තියන්න හිතං හිටියෙ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙ.ඒකෙ ප්‍රධානියා මධු මාධවත් වැඩේට උදව් කරන්න ඉදිරිපත්  වුණත් රංග ශාලාවෙ තියෙන පහසුකම් එක්ක ඒ ගණන් වලට නාට්‍යයක් කරනවට වඩා ටවර් එකට එන එක ලාබයි.හැබැයි ඒක හොද හෝල් එකක්.තැනත් නියමයි.කොළඹ විශ්ව විද්‍යාලය ළග.කොළඹ 7.වෘත්තීයවේදීන්ගේ සමාජය අල්ලපු වැටේ.හොද දේවල් අඩු ගණණට පෙන්නුවොත් මේක හොද වටිනා කියන තැනක් හැටියට තීරණය වෙයි.ගැලවිජ්ජා ඒ විජ්ජාව කරන්න ඉදිරිපත් වුණාට හෝල් එකට තියෙන නීති අණ පනත් එක්ක ගණන් මිණුම් අඩු කරල මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන් සීමාවෙ දිග පළල අපිට දැනෙන විදිහට වෙනස් කරන්න ඒ අයට නම්‍යශීලී වෙන්න විදිහක් නැහැ.

ඉතිං අපි ටවර් එකට යනවා.වායු සමූකරණය කරන ලද හෝල් එකක් වීම වගෙම නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් හදුන්වා දිය යුතු තැනක් නොවීමත් මේ වැඩේ දී ලොකු ගැම්මක්.අපි 26 හෝ 27 හෝ ඒ දින දෙකේදිම හෝ මුණ ගැසෙමු ටවර් එකේදි.ප්‍රවේශපත්‍ර ගැන තීරණය කරන්න ගියහම පට්ට ගැටළුවක් ආවා.මගේ සාක්කුවට ඔරොත්තු දෙන්නෙ නැති ගණන් තමයි දාන්න වෙන්නෙ.ඒත් ටිකට් එකක සාමාන්‍ය මිල දැන් එහෙමයි කියලා කට්ටිය උදාහරණ ගොඩක් ගෙනාවා.

හැමෝගෙම උදව්වෙන් කරන නාට්‍යය තව දුවවන්නත් සල්ලි ඕනි.ඒකයි ඇත්ත.කට්ටිය කියපු කතාවෙ වරදක් නැහැ.හොදයි එහෙනම් ටිකට් පතක් රුපියල් 1000 සහ 500 වෙනවා.මේක අවුල් නම් කියන්න.තවම ප්‍රින්ට් කරලා නැහැ.ඔබත් එක්ක මේ ගැන එකගතාවයකට එන්න වෙනවා.ඔබ හුගදෙනෙක්ට මේ නාට්‍යය අයිතියි.බහුතර කැමැත්ත අනුව ඒක කරන්න අප්‍රමාදව මෙහි ඔබේ අදහස ලියන්න.නැත්නම් මගේ මේල් එකට එවන්න.nismansinghe@gmail.com

ඒත් මේක අතුරු කතාවක් විතරයි.මේ හෝල් වල ප්‍රශ්නෙ හිතට මෙච්චර වදයක් වුණේ අපි වගේ නාට්‍ය කරුවන්ට නාට්‍ය කරන්න තිබුණු ජෝන් ද සිල්වා සමරු රගහල බිමට සමතලා කරපු නිසයි.මම ඊයෙ උදේනි අල්විස්ගෙ ආරාධනාවෙන් ඡායාරූප සංගමයෙ ඡායාරූප ප්‍රදර්ශනය බලන්න කලාගාරයට ගියා.කඩල හදනවා වගෙ දැනෙන්න කලාගාරයෙ සීමාවෙ උසට තහඩු ගහලා ජෝන් ද සිල්වා එක තිබුණු බිම වහලා තිබුණා.

මම එහා පැත්තට ගිහිං එබිලා බැලුවා.බිමට සමතලා කරපු ජෝන් ද සිල්වා එක පස් ගොඩක් විතරයි.ඇස් වලට කදුළක් ආවා.ඒ කදුළට හිනා වෙන්න වගේ නෙළුම් පොකුණ බලං ඉන්නවා.නෙළුම් පොකුණෙ කව්ළු වලින් එබිලා ජැක්සන්ල,රන්දෙණියලා වගේම ඇතුගලත් පුළුවන්නම් උමල නාට්‍ය කරපං කියන්න වගේ බලා ඉන්නවා.

රාජ්‍ය නාට්‍ය උළෙලට මරාසාද් පෙන්නපු වෙලාවෙ කර්ට්න් කෝල් එකට මරා ට අසුනෙන් නැගිටලා අත්පුඩි ගහපු හැටි මතක් වෙනවා.කොට්ට උරයක් මෙන් සිරුර කණ පිට පෙරළා අළුත් ඇහැකින් ලෝකය බලන්න කියන එක තේමා පාඨයක් කර ගත්තට එහෙම මිනිස්සු දිහා අළුත් ඇහැකින් බලන්න බැරි වෙලා තියෙනවා කියලා මට තේරෙන්න ගන්නවා.

ජෝන් ද සිල්වා කියන්නෙ හැම අතින්ම සම්පූර්ණ රංග ශාලාවක් නෙමෙයි.ඒත් පැනඩෝල් පෙත්තක් වගේ.හිතේ නිර්මාණයක් වෙනුවෙන් ඇතිවන ප්‍රසව වේදනාව සමනය කර ගන්න තිබුණෙ ජෝන් ද සිල්වා.එහෙම නැත්නම් ලුම්බිණි රගහල.රජයෙන් ආශිර්වාදයක් කියලා ලැබුණු එක තමයි ජෝන් ද සිල්වා රගහල.මේ සමතලා කරල තියෙන්නෙ ඒ භූමිය.

එතකොට කලාකාරයො කියලා දෑත ශක්තිමත් කරන්න ඉන්න කට්ටිය සිය දෑත ශක්තිමත් කර ගෙන නෙළුම් පොකුණෙ නාට්‍යය කරනවා.අලුත් පරම්පරාව හිස් අතින් බලා ඉන්නවා.හදනවා කියලා කඩපු රගහල හරහා කඩා දැම්මෙ අලුත් දේශපාලන අදහස් වලට ගොඩ වෙන්න තිබුණු වේදිකාව.පුංචි හරි කම්පනයකින් තමයි නාට්‍යයක් කරන්න මනුස්සෙක් පෙළඹෙන්නෙ.ඒ කම්පනය නිර්මාණශීලීව ප්‍රකාශ කරන කොට එහි තියෙන සෞන්දර්යාත්මක වටපිටාවත් එක්ක තියෙන අර්බූදය විදින්න වගේම ඒක තේරුම් ගන්නත් පිරිසට ඇති ඉඩ ඇහිරෙනවා.

කලාව වාරණය වෙන්නෙ ඒ විදිහට.වක්‍රාකාරයෙන් ජොන් ද සිල්වා කඩා වැටීම හරහා මේ කරමින් තියෙන්නෙ ඒ දේ. ඒත් කලාකාරයො කියලා ලයිසන් අරං රාජ්‍ය යාන්ත්‍රණයෙ නියෝජිතයො විදිහට ඉන්න අය නිශ්ශබ්ද කරලා තියෙන්නෙ මෙන්න මේ දේශපාලනික අනන්‍යතාවය.ඒ අයගෙ දේශපාලනය කෙසේ වෙතත් ඒ අයගේ වරප්‍රසාද සහ අනෙකුත් භෞතික සම්පත් වෙනුවෙන්  මේ අය නිහඩ වෙනවා.

ජෝන් ද සිල්වා තිබුණු බිම පස් ගොඩක් හැටියට අලුත් බීජ ඉන්දන්න තියෙන ඉඩ මුඩු බිමක් බවට පත් වෙනවා.කලාකාරයො විදිහට පෙනී සිටිමින් නලා පිඹින කිසි කෙනෙක්ට මේකෙන් කප්පාදු වෙන පරම්පරාවෙ අයිතිය හෝ ඔවුන්ගෙ ආදරණිය හැගීම් තේරෙන්නෙ නැහැ.කුමාරි මුණසිංහ ගේ ගීත සමුච්ඡය එළි දක්වපු රූපවාහිනි ප්‍රසංගය තිබුණෙත් ජෝන් ද සිල්වා සමරු රගහලේ.එකේ ප්‍රසංග කලමනාකරනයට මම සම්බන්ධ වෙන්නෙ දුකා නිසා.එදා රැ දුටුව කුමාරි මුණසිංහගේ සැමියා අද රගපාන චරිතය ඊට වඩා කොච්චර වෙනස්ද?

වරෙං මෙහෙ පලයන් කඩේ.ප්‍රතිපත්ති බල්ලට දාලා වැඩ කළොත් උඹලටත් දොර ඇර ගන්න පුළුවන් නෙළුම් පොකුණෙ.

වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි
අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට

අපි තේරුම් නොගත් ඇත්ත හිත තුළ දෝංකාර දෙනවා.ඒ බිරුම් හඩට එකතු වෙලා බුරනවද?මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න හදලා බල්ලෙක් වගේ මැරුම් කනවද වගේ අදහසක් මගේ හෘද සාක්ෂියෙන් මතුව ඇවිත් මගෙන් ප්‍රශ්න කරනවා.

තෝරා ගැනීම සදහා බලු චරිතයක් සහ මිනිස් චරිතයක් ඇත.මම ජෝන් ද සිල්වා කියන කිර්තිමත් කලාකාරයා සහ ‍අදීන මිනිසාගේ නාමය පස් ගොඩක් බවට පත් කල සමයමට දෑතම ඔසවා අනුමැතිය දී නිහඩ වුණු කලාකාරයන්ගේ මහා සමයම ‍බලන්න එන්න නෙළුම් පොකුණට කරන ආරාධනාව ඇතුලෙ තියෙන කුහක දේශපාලනය ගැන කතා කරන්න මේ රටේ වේදිකාවක් හැදෙන්න කියලා බිමට නැමිලා පස් වෙච්චි ජෝන් ද සිල්වා රගහල් භූමියෙ පස් රොදක් හිිමිහිට අතට ගත්තා .

පස් පෙරළෙනවා.ඉවසපං.අලුත් බිජ ඊට පස්සෙ ඉන්දන්න පුළුවන්.
ඒ පස් අහුර බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මම ආයෙමත් බිමින් තිබ්බා.

Tuesday, July 1, 2014

කැත හීන


මම අම්බානෙක හීන දකිනවා.හැබැයි ඒ නින්දෙන් නෙමෙයි.උදහරණයකට ගත්තොත් මේ දවස්වල නාට්‍ය සම්පූර්නයෙන් දැකල ඉවරයි.ලයිට් වැටුණම මේක් අප් ආවාම ඇදුම් හැදුණම මේ ඔක්කොම එක්ක දැන් දර්ශන වාර පනහක් හැටක් ප්‍රදර්ශනය වෙලා තියෙන්නෙ.

ඒත් මේ හීන අතරට ඇස් පියා ගෙන නින්දට වැටුණම පේන හීනත් තියෙනවා.හීතල දවස්වල මේ හීන වැඩියි.හීතලයි හීනයි අතරෙ සම්බන්ධයනම් මම දන්නෙ නැහැ.සමහර විට මාතලන්,අරූ හෝ කකා දන්නව වෙන්නත් පුළුවන්.එහෙම නැත්නම් අපේ වෙන එකෙක් හරි දන්නවනම් හීතලට හීන මෝදු වෙන හැටි ලියපල්ලා.මම දන්නෙ හීතලට මෝදු වෙන වෙන වෙන දේවල්...

මේ හීනෙදි සම්බන්ධ වෙන්නෙ මහනුවර.

පාරවල් ඔක්කොම වහල.බෞද්ධයන්ගෙ කම්මුල් වල තමන්ගෙම අත් වහල.අනේ අපොයි කියා ගෙන පාර බලා ඉන්නවා.මහනායක හාමුදුරුවන්ට එරෙහිව පඩයක්වත් අරින්න ඉදිරිපත් නොවුණු රටක නායකත්වය කිසිත් නෑසුණු ගාණට උන්නාන්සෙලා විරුද්ධ වුණු කාර් රේස් එක පවත්වන්න හදනවා.මහනායක හාමුදුරුවරුන්ගෙ විරුද්ධත්වයෙන් සංතාපයට කෝපයට පත් සිංහල බෞද්ධ පිරිස් නිවි සැනසී නැවත වෛර වී මේ වැඩේට කොහේ හරි හම්බයෙක් සම්බන්ධනම් ඔළුව පලන්න හිතා ගෙන සහ ඒ මදි වුනොත් මරං කන්න බලා ගෙන  දත කට බැදන් බලං ඉන්නවා.

හැමෝගෙම හිතෙ එක අදහසයි තියෙන්නෙ.බුදු හාමුදුරුවො සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස දෙසා වදාළ බුද්ධාගම අලුත් මුද්‍රණයකින් සිංහල ජාතියට අයිති දෙයක් බවට පත් කළ සහ සියළු සත්වයෝ පිළිබද ඇති කර ගත යුතු මෙත් මුදිතාව,සිංහල බෞද්ධ පිරිස පිළිබදව පමණක් ඇති කර ගත යුතු බව කී අපේ කාලයේ සෙකන්ඩ් හෑන්ඩ් බුදුන් නානසැරව දැන් වඩිනු ඇති බවට කාගෙත් විශ්වාසයයි.

මහනායක හාමුදුරුවරු අවසර දෙනවනම් රජය පවා පෙරළන බවට ප්‍රතිඥා දී තිබීමත් නිසා මේ විශ්වාසය තවත් වැඩි වෙලා මේ පිරිස පාර බලා ඉන්නවා.බෞද්ධයො ඇකැපයි කියා සිතන මහානායක හාමුදුරුවරු පවා එපා කියන මේ කාර් රේස් එකට අබ සරණං වෙන්න නානසැරව දෙන හැටි හැමෝගෙම හිත් වල රැව් පිළිරැව් දෙනවා.

සිතුවිල්ල සැබෑ කරමින් නානසැරව පට්ට ඒසී කාර් එක මතු වුණා.මිනිස්සු සාදු කිව්වා.රියල් ස්ටාර් වගෙ නානෙ අත දාලා සැලියුට් කළා.සාදු එකට ජයවේවා කියලා හඩකුත් එකතු වුණා.මනුස්සය කාර් එකෙන් බැහැල ඒ වෙන කොට ආරම්භ කරන්න සූදානම් කරල බ්රූම් බ්රූම් කියලා සද්දෙ දදා තිබුණු කාර් ටික ඉස්සරහට වැඩම කරන්න පටන් ගත්තා.

වැඩ්ඩ වැඩිල්ලක් සිවුර වෙලේ කියන වේගෙන් වැඩපු උන්නාන්සෙ අතේ බැබලි බැබලි තිබුණු කළු සුදු කුඩය ඊ ළග මොහොතේ සංවිධායකයන්ගෙ හිස් මත පතිත වේය යන ශ්‍රද්ධාවෙන් පිරි කරුණාව පිරි විශ්වාසයෙන් සියළු බෙෘද්ධයෝ සිය අනන්‍යතාවය පැහැදිළි කරමින් සාදු කාර දෙන්න ගත්තා.ඒ වෙන කොට ආරම්භ කරන්න පෝලිම් ගහල තිබුණු වාහන ශබ්දෙත් හොල්මණකට බය වෙච්චි ගාණට වෙව්ලන එකක් වුණා.

නානසැරව කාර් රේස් එකේ ස්ටාර්ට් එකට පෝලිම් කරලා තිබුණු කාර් වලට මුහුණ ලා දකුණු අත පැත්තෙන් හිට ගත්තා.ඉස්සුවා කුඩේ ඉහළට.සාදු කාරය වැඩි වුණා.හඩ තිව්ර වුණා.කුඩය පහත් කළා.කාර් ටික ඉගිල්ලුණා.

'යකෝ කුඩයක් නෙමෙයිනෙ ඒක,කොඩියක්නෙ'

කවුද කිව්වා.ඒ වෙන කොට දළදා උන්නාසෙට මුහුණ ලා නට නටා උන්න රුසියානු රූමතියන් දෙස බලා ගෙන නළලට අත තැබූ නානසැරව සාදුකාරයක් දුන්නා.බෞද්ධ ජහමනයත් ඒකට හයියෙන් සාදු කිව්වා.සාදු සද්දෙයි බ්රූම් සද්දෙයි එකට මුහු වෙලා ආපු සද්දෙට තවමත් නිකං කැරකිල්ල වගේ.

හීන වල හැටි . . .

(පෞද්ගලිකව මම නම් කාර් රේස් වලට විරුද්ධ නැතියෝ)

Friday, June 20, 2014

මයිනහම සීරුවෙන්


දර්ගා නගරයේ ගිනි පුපුරු නිවී ඇත.ඒ මතු පිටින්ය.ඒත් මයිනහම සීරුවෙන් සිටියි.ඇවැසි වූ සැනින් යළිත් එය අවුලවන පිණිස අදින්නට පටන් ගන්නවා සැක නැත.

හුග දෙනෙක් සිංහල බෞද්ධයෝය.සරලම බසින් කියන්නේ නම් ඒ නිසා පොරවල් ඔවුන්ය.අනිත් අය හාල් පාරුවෝය.එසේනම් මේ හාල් පාරුවන්ගේ පැවත්ම තීරණය කිරීම පැවරෙන්නේ මේ පොරවල්වලට ය.නමුත් මේ අය කරන්නේ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යය සාධක සැපයීම පසෙක ලා ඔවුන්ට බයේ කෑ ගැසීමය.වියරුවෙන් පහර දෙන්නට මං සෙවීමය.පොරක් එසේ වන්නේ ඒ පොරකම ඇතුළත ඇති හීනමානය නිසාම විය යුතුය.

මේ හීනමානයට හේතුව තමන් ඉන්නා මතය පිළිබදව ඇති අවිශ්වාසයය.නැතිනම් දෙගිඩියාවය.බුදු දහමේ හැටියට සියළු සත්වයෝ නිදුක් විය යුතුය.මිනිසා වසලයෙකු හො බමුණෙකු විය යුත්තේ ක්‍රියාවෙන්ය.මේ දර්ශනය තුළ බුදු හාමුදුරුවෝ "මේ දර්ශනය ගෙන හැර පාන්නේ ලෝකයටමය.බෞද්ධයන්ට පමණක් වලංගු විය යුතු බව හෝ සියල්ලෝම බෞද්ධයෝ විය යුතු බව වත් නොකියති.අවබෝධ කර ගැනීමේ ස්වභාවය නැණ පමණින් යැයි කියන්නේ ද ඒ නිසාය.

දැන් පැහැදිළි වන්නේ පොරවල් මේ දර්ශනය අවබෝධ කර ගෙන සිටින නැණ පමණමය.ඔවුන්ට අනුව සිංහල බෞද්ධයන්ට පළමු තැන හිමි විය යුතුය.නීතිය සහ සියල්ල සැකසිය යුත්තේ එලෙසය.සුදුස්සාට නිසි තැන ලැබීම සළකා බැලිය යුත්තේ ඉන් අනතුරුවය.බෞද්ධ හිමිනමක් ගමන් කරනා මගක ඔහුට ප්‍රථම කිසිවෙක් නොයා යුතුය.එය සිංහල බෞද්ධ නොවන්නේනම් තවත් බරපතලය.එවැනි අවස්ථාවක පහර දීමකට ලක් වූවේ නම්,ඉන් මිදීමට උත්සාහ නොකළ ගුටි කෑම සදහා ගැලපෙන ඉරියව්වකින් නොසැලී පිළිමයක් සේ සිටිය යුතුය.

මෙවැනි පහර දීම් අපට අනුව හිංසනය වුව,මේ දත් පමණින් ආගම තේරුම් ගත් අයට අනුව එය අයිතිවාසිකම් ය.සියල්ල අතහැර යන බව පදනම් කර ගත් අනිත්‍ය පිළිබදව මෙනෙහි කරන දහමක,අයිතිය ගැන කරන ප්‍රකාශ බහුලය.මෙම අයිතිය වෙනුවෙන් එනෙකා මරා හෝ කටයුතු කළ යුතුය යන්න පිළිබද කරන ප්‍රකාශ කොතෙකුත්ය.

මට බෞද්ධාගමේ තියෙන සියළු ගාථා මතක නැත.මතක තියා ගන්නට අවශ්‍යයද නැත.මා උදේ හවා බුදුන් වදින්නේ නැත.සිල් නොගනිමි.එහි වටිනාම දේ සියල්ලෝ නිදුකින් නිරෝගිව සුවයෙන් සිටිනු දැකීම වෙනුවෙන් කරන උත්තරීතර පැතුමය.එහිදී සියල්ල දෙස එසේ බලනු විනා අන් ජාතීන් දෙස සහ ආගමිකයන් දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් බැලීමට මම කැමති නැත.

මට මගේ දේවල් අත හරින්නට පුළුවන.මේ රටට  මට වඩා සේවයක් වන්නේ යැයි කුමන හෝ මාධ්‍යයකින් වන්නේ නම් ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් මට ඒ පරිත්‍යාගය කළ හැකිය.එසේ කළ අවස්ථා ද ඇත.මම හිතන්නේ ඒ බෞද්ධකම කියාය.එය කුමන හෝ වෛරී සංවිධානයක ගැත්තෙක් හෝ ඉත්තෙක් වී සෝදා හරින්නට මා අකමැතිය.

ඒ නිසාම දර්ගා නගරයේ සිදුවීම හරහා මම කම්පාවට පත්වන්නේ බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස් කළ දේ පිළිබදවය.අනෙකාගේ වපසරිය කවරේද යන්න බෞද්ධයා විසින් සිංහලයා විසින් දමන සීමාවන් තුළ නිර්නය කරන්නට දීම සහ එසේ අදහස් වන ප්‍රකාශ කිරීමම හානිකරය.මෙය දේශපාලන කියවීමක් වන්නේ නම් එයින් ඇති වන ප්‍රතිපලයන්ට අනුව ලොව පුරා විසිරී සිටින ලාංකේය පිරිස් වලට ඒ රටවල වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේ අයිතිය අහිමි වුව හොත් කරන්නේ කුමක්ද යන්නත් ඒ දේශපාලනය තුළ ප්‍රකාශයට පත් විය යුතුය.දැනට ක්‍රියාත්මක සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර කිසිවක් එය විග්‍රහ කරන්නේ නැත.

ධර්මය බඩ ගින්නේ අවබෝධ කර ගත නොහැකිය.නමුත් දැන් සිදු වන්නේ හිස් බඩවල් වලට වෛරය පිරිවීමය.සැබෑ ධර්මය අවබෝධ කර දීමට යාම මුනින් අත හැර වූ කළයකට වතුර වැක්කිරීමක් බදු වන්නේ එබැවින්ය.මිනිසුන්ට ඇති සමාජ දේශපාලන සහ ආර්ථික ගැටළු හමුවේ ඇති කළකිරීම නිසා ඇති වූ හිස් බව ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් පුරවා වෛරයේ ගිණි පුපුරු ඒ මත තබා මයිනහම ඇදිම මේ මොහොතේ ස්වභාවය වී ඇත.එවිට රත් දැල්ලේ යකඩය තැලී පණ ගැසී නිර්මාණය වන්නේ සැබෑ ගැටළුකාරී තත්ත්වයන් කපා දැමීමට අවශ්‍යය ආයුධ නොවේය.පවතින බඩජහරි දේශපාලනයට ඇවැසි අවිය.

මේ කොන්ත්‍රාත්තුව පිණිස ලොව අවිහිංසාවාදීම සහ ප්‍රජාතන්ත්‍රවාදීම ආගමික දර්ශනය බිලි වෙමින් තිබීම ඛේදයකි.එයින් ඈත් වීමට කළ හැකි දේ සැබෑ බෞද්ධයන් වීමම පමණි.උදේ හවහ බුදුන් වැදීමෙන්,දන්නා සියළු ගාථා එක හුස්මට කියැවීමෙන් හෝ මේ තත්ත්වය නිර්මාණය කළ නොහැකිය.සියළු සත්වයන්ට නිදුක්,නිරෝගි බව පතමින් සුවය ප්‍රාර්ථනා කිරීම ඒ සදහා ඇති එකම විකල්පය වන්නේය.

එහෙත් වරින් වර ඇදෙන මයිනහමට ගිනි පුපුරු ඇවිලී පණ ගැසී එන බව අපි දකිමු.ඇතැම් විට ඒ ගිණි පුපුරු වලින් අප ද දැවී අළු වි යා හැකිය.එහෙත් එකක් සහතික කර ලියා තැබිය යුතුය.මේ මයිනහම ඇද පණ පොවා ජාතිවාදී ආයුධයක් තැනීමට නම් මගේ හදවත නම්‍යශීලී නොවෙන බව සහතිකය.

එසේම මම සිංහලයා බෞද්ධ විය යුතුව ඇතැයි විශ්වාස නොකරමි.විශෙෂයෙන් ඕනෑම ජාතියක අයෙකුට බෞද්ධ වීමේ හැකියාව සහ අවස්ථාව ඇති බව මගේ විශ්වාසය වන්නේය.බුදුන් වහන්සේට ද ජාතියක් හෝ කුලයක් නොතිබිණ.බෙදීම් වලින් වන්නේ නිරනත්රයෙන් පාර්ශවයක් හෝ පාර්ශව ගණනාවක් පීඩාවට පත් වීමය.එහෙත් අද රටේ ක්‍රියාත්මක වන බෞද්ධාගම කුල මත පදනම් නිකාය වලට බෙදී ගිය ආගමක් වී ඇත.නිවැරදි බුද්ධාගම ස්ථාපිත කිරීමේ විප්ලවය එසේනම් ඊට පෙර ඇරඹිය යුතුය.සිංහල බෞද්ධයා රැකීමට පෙර කුල පදනම් නිකාය සහිත බුද්ධාගම බෞද්ධ නිකාය බවට පත් කිරීම පළමුවෙන් ඇරඹිය යුතුය.

හැකිනම් දර්ගා නගරයට පිවිසෙන්නට පෙර බෙදීම් වලින් තොර එක දර්ශනයක් සහිත ආගමක් ලෙස බෞද්ධාගම එහි සැබෑ ස්වරූපයට ගෙන එන්න. එය නුතණ බෞද්ධාගමේ සැබෑ අභියෝගය වන්නේය.

Sunday, June 15, 2014

ජීවිතය අහිංසක වී කවිය කොමර්ෂල් වීම



ගෙදර පුංචි වලියක්!ඒ දුව.

අයියා ගැන විතරද තාත්තා ලියන්නෙ?

ඇයි මම ගැන ලියන්නෙ නැත්තෙ?.............

ඇය ඇයගේ සුදුසුකම් ඉදිරිපත් කරනවා.අධ්‍යාපනික දක්ෂතා,චිත්‍ර කලාවේ හැකියාව,නැටුමේ මෙන්ම ගැයීමේ ද ඇති කුසලතා....ලිවීම.....

මගේ පුතා ගැන සටහන බලපු ආදරණීය මිතුරියක් පුතා සමග දුරකතනයෙන් කතා කළා.අරගලය ඉහළටම නැගල එන්න ගත්තා.දුවටත් කතා කරන්න ඕනි වුණා.අවසානයේ ඒ සහෝදරිය දුව සමගත් කතා කළ නිසා මගේ කන් දෙකට විදින්න තිබුණු විශාල වදයක් හීනි වුණා.

ඇය සැබෑවටම දක්ෂයි.පිළිගත් අධයාපනික සහ භාහිර ක්‍රියාවන්හී දී ඇය පුතා මෙන් ගව් ගණනක් ඉදිරියෙන්ය.එහෙත් මේ සටහන ඇතැම් විට ඔබට එතරම් වැදගත් කමක් නොවන්නට පුළුවන.එහෙත් ඇය ගැන ලියන්නට කරන ඇයගේ බලකිරීම නිසාම නොව දෙදෙනාගේ වෙනස ද නිසා මෙය මා ලිවිය යුතු බව හැගිණ.

පුතා ගැන ඇති සුවිශේෂත්වය කවරේද යන්න මම මිට පෙර ලීවෙමි.ඔහු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෙක් වුව බොහෝ සෙයින් කාරුණික සහ මිත්‍රශීලි හදවතක් ඇති අයෙක් බව ද මම පැහැදිළි කළෙමි.එහෙත් දුව කාරුණික වන්නේ යම් තරමකටය.ඇයට සීමාවන් බොහෝ ඇත.

ඇයට යාමට අවුරුදු 5 පමණ පිරෙන විටම හැඩට අදින්නට පටන් ගත්තේය.චිත්‍ර කර්මය ඉගෙන ගන්නා බෝගහවත්ත ගුරුතුමාට අනුව දියණි කවෝදි,සිය වයසට වඩා අදින මිනිස් රූප වලදී,වියපත් බවක් පෙන්වන්නේය.ජාතික සහ ජාත්‍යන්තර තලයේද යම් ඇගයීම් ලැබුණ ද,සමහර විට ඒ රූප වල මේරු පෙණුම ඇයට ඊට වඩා විශාල ජයකට බාධා වන්නට ඇත.ඒවා අදින්නේ ඇය යැයි සැක උපද්දන්නට ඇත.

කාලයක සිට මා ලියා එකතු කර ගත් ළමා කතා කිහිපයක් පොත් වශයෙන් එළි දැක්වීමට චිත්‍ර ඇදීමේ කාර්යය දුවට පවරන්නට මා සිතා ගත්තේ ඒ නිසාය.එහෙත් එය යෝජනා වූ සැනින් දුව ඇසූ පැනයෙන් මා කරකවා අත හැරිය ගාණට වැටිණ.

කීයක් මට දෙනවද?

ඒ පැනය ගැන මා මිතුරෙකුට කී විට ඔහු කීවේ දුවට පුතා ගේ මෙන් මානසික අපහසුවක් නැති නිසා ඒ පැනය හොද බවය.ගෙදර ඇතුළට මිතුරාගේ හඩ වාර්තා වූ විට මිතුරාගේ කතාව සත්‍යය නම් පුතා ගේ පමණක් නොව පියාගේද හිස පරික්ෂා කරන්නට අවශ්‍යය සාධක ගණනාවක් යවුලක් ලෙස ගෙන මගේ කණ පතුලට කිදා බස්සන්නට විය.

සුනිල් මාධවයන් ලක්ජන පත්තරය එළි දක්වද්දි එහි පළමු පිටුවේ පිංතූරය වූයේ මගේ පුතාගේ පිංතූරයක්ය.රවින්ද්‍ර පුශ්පකුමාරයන්ගේ කාචයේ සිතුවම් වූ ඒ පිංතූරය පසුව වරින්වර විවිධ දේ සදහා යොදා ගනු ලැබිණ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මගේ දේශය අවදි කරනු මැන කළා උළෙල වෙනුවෙන් විකුණන ලද ස්ටිකරයක් වුණේ ද ඒ පිංතූරයය.තවත් අවස්ථා ගණනකදී අනවසරයෙන්ම මේ පිංතූරය යොදා ගෙන තිබෙන බව සැළ වුව ද,මට වෙඩ්ඩා විසින් (මංජුල වෙඩ්වර්ධන) සොයා ගෙනවිත් දුන් කතෝලික පියතුමෙක් ලියූ ගී පොතක එම පිංතූරය කිතුණු උපත වෙනුවෙන් ලියූ ගීයකට යොදා තිබෙනු දැක ගන්නට හැකි විය.

එම පියතුමාගේ පොත මට ලැබෙන විට පුතා ඒ වන විට උගනමින් සිටි පාසලේ ගුරුවරියක ලෙස සිටි කන්‍යා සොහොයුරියක පුතුව පාසලෙන් ඉවත් කළ යුතු තැනට කටයුතු නිර්මාණය කරමින් සිටියේය.එහිදී මා කන්‍යා සොහොයුරිය මුණ ගැසීමට ගියේ පියතුමාගේ ගීතිකා පොත ද සමගින්ය.

සිස්ටර් මේ ෆාදර්ට කතා කරල කියන්න කිතු උපතට දාලා තියෙන පිංතූරෙ ඉන්නෙ මේ වගෙ ළමෙක්,ඒකෙන් කිතු උපතට හානි වෙනවා කියලා...

මගේ යෝජනාව පියතුමා වෙත ඉදිරිපත් කිරීමට කන්‍යා සොහොයුරිය ඉදිරිපත් නොවුණ ද,ඇය ඉන් අනතුරුව පුතාට මහත් සෙනෙහසින් සැළකුවා පමණක් නොව ඇය විශේෂ අධ්‍යාපනය පිළිබදව දිගු හැදෑරිමකට ද පිවිසුණාය.

දුව සම්බන්ධයෙන් එවැනි කරදර වලට මුහුණ පෑමට සිදු වී නැත.ඇය සම්බන්ධයෙන් වන්නේ පවත්වන සෑම දෙයකටම ඇය තෝරා ගැනීම නිසා අපට හුස්ම ගැනීමට ඇති ඉඩ-කඩ සීමා වීම සහ සාක්කු හෑල්ලු විමය.ඒ ඉදිරිපත් වීම්,අයැදීම්  සියල්ල මුදල් අනුව සාර්ථක වන බව තේරෙන නිසා මෙන් දුව සෑම දෙයක්ම මුදලට කර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි මම නොදනිමි.

පුතා මෙන් තෑන්ක්ස් වලින් නිවෙන දෙයක් දුව තුළ නැත.ඇය අවම තරමේ කළ දේ පිළිබදව කුමණ හෝ ඇගයීමක් හෝ බලාපොරොත්තු වන්නේය.උදාහරණයකට මේ ලිපිය සදහා මා පොළඹවන්නේම ඇය විසින් දරුවන් දෙදෙනාට දෙදෙනෙක් ලෙස සැළකීම සම්බන්ධයෙන් ගෙන එන විරෝධය ය.

මා පුතු ගැන ලියූ ලිපියේදී කියවන්නට නොදත් ඔහුව කැදවා ඒ ලිපිය සහ පළ වී ඇති කමෙන්ට්ස් කියා දුන්නද,ඔහුට එය වැඩි ගතියක් ගෙන දුන්නේ නැත.නමුත් වෙඩ්ඩා මුහුණු පොතේ ඒ ගැන ලියා තැබූ දේ පිළිබදව මෙන්ම දුරකතනයෙන් කතා කර පුතා සමග පිළිසදරක යෙදී තරුරසී ද ඔහුට විශේෂය.

විටෙක නාට්‍ය පුහුණුව සදහා මා සමග වැලිකඩ බන්ධනාගාරයට යන ඔහු මෙවර ගිය අවස්ථාවේ දි සම්පූර්ණයෙන්ම මාතෘකාව කර ගත්තේ වෙඩ්ඩාව සහ තරුරසී ය.දැන් නාට්‍යයට සම්බන්ධ සෑම රැදවියෙක්ම වෙඩ්ඩා ගැනත් තරුරසී ගැනත් දන්නේය.ඔහු වෙඩ්ඩාව හොදටම දන්නේය.කුඩා කාලයේ ඇතැම් විට හැඩුම නැවතුණේ ද ඒ රැවුලේ පැටලුම් හරිමින්ය.ඒත් තරු මාවත් දැක නැත්තේය.එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත.දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඩ බොහ‍ෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

වෙනත් අවස්ථාවෙක බන්ධනාගාරයේ සිට පැමිණෙද්දී, පුතා බොහොම කණස්සල්ලෙන් කියූ කතාවක් මට මතක් වෙන්නේය.

මේ යාළුවන්ට නිදා ගන්න ඇදවල් නැහැ නොවැ.අරං දෙනවකො

රැදවියන් ගැන ඔහු මට කීවේ එලෙස ය.එ් ඔහු වචන පාවිච්චි කරන හැටිය.සමහර විට ඊට වඩා දරුණු වචන ද භාවිතයට ගන්නේය.හැබැයි නිවැසියන්ගෙන් පිටට ඒ භාෂිතය නැති තරම්ය.පුතා මෙන්ම දියණි ය ද එහි ගිය විටෙක අපූරු කතාවක් කීවේය.ඇය හා කතාවට වැටි රැදවියෙක් ඔවුන්ට එළියෙ සැප නැති බව හගවමින් නිදා ගන්නේ බිම යැයි කීවේය.

ඉතිං ඇයි ඕගොල්ලො වැරදි කළේ?වැරදි කරාම එහෙම ඉන්න ඕනි.

ඒ දුව එම රැදවියාට දුන් පිළිතුරය.ඔහු ඒ සම්බන්ධයෙන් අකමැති වූවාට සැක නැත.එහෙත් ඒ දුවගේ හැටිය.මමත් බොහෝ විට කියන දේ මුහුණට කියන්නේය.එහෙත් වැඩකදී ඊට අවශ්‍යය ගාණක් කියන්නට දිව පැටලෙන්නේය.ඒ නිසාම මග බලන පුංචි ඇස් වල බලාපොරොත්තු විනාශ කරමින් හිස් අතින්ම පෙරළා ගෙදර එන්නට සිදු වන වාර අනන්තය.

මේ ළගදී දිනෙක ආදරණීය සහෝදරයින් තිදෙනෙක්ගේ පොත් එළි දැක්වීමකට ගියේය.ඉන් දෙදෙනෙක්ම සිය මාධ්‍ය ජීවිතය ඇරඹීමට මා දිරියක් වූ බව සිය පොත් වල ලියා තිබිණ.අමුතු ආකාරයේ පොත් එළි දැක්වීමක් වූ එහි වූ ප්‍රාසාංගික උළෙල කළමණාකරනය කළේ මා ය.රාත්‍රියේ නිවසට පැමිණි මා එම පොත් දෙකේ කතුවරුන් සිය පොත් වල මගේ නම සදහන් කරන්නට ඉදිරිපත් වීම ගැන බොහෝ සතුටින් කියන්නට විණ.

නිදි ගැට කඩමින් අවදිව පැමිණි දියණිය ද,එයට සවන් දුන්නාය.

කෝ ඉතිං ඒ පොත්? ඇයි ඔයාට දුන්නෙ නැද්ද? ඔයා ගැන ලියපුවා බලන්න මම සල්ලි දීල ද ගන්න ඕනි?

ඇය නැගිට වැනි වැනී ගොස් ඇදට වැටුනාය.මට ද කුමක්දෝ අඩුවක් දැණින.දන්නා හිතවතෙකුගේ යමක් පළ වූ විට එහි පත්තරයක් නොමිළේ ගෙනත් එම මිතුරාට දීම පත්තර කන්තෝරුවල සිටියදි පවා මම බොහෝ විට කළෙමි.දුව වැරදි නැත...

අවසානයේ සටහන දිගු නොකොට දෙදෙනා ජිවිතය සහ කවිය වූ හැටි ලියා තබන්නම්.පුතා ගේ මානසික අර්බූදය නිසා ම අපි දරුවෙක් ගැන නොසිතුවෙමු.එහෙත් මිත්‍ර වෛද්‍යවරුන්ගේ ද මග පෙන්වීම මතු දුව අප අතරට පැමිණෙන්නට වසර අටක් ගත විය.ඒ දක්වා 'මගේ ජිවිතය' ලෙස මම පුතුව හැදින්විමි.අනතුරුව බිරිදගේ ජිවිතය යාන්තමට රැකුණු බොහෝ සෞඛ්‍ය ගැටළු ඉතිරි කළ දුවගේ උපත වේදනාවෙන් උපන් කවියක් බදු විය.ඒ නිසාම නමින් කවෝදි වූ ඇය මගේ 'කවිය' විය.දෙපළ අද ද මා විසින් ආමන්ත්‍රණය කරන්නේ එලෙසය.පුතා ඇතැම් විටෙක එයට අඩු පුරවමින් ඔහු 'තාත්තාගේ රත්තරන් ජීවිතය' ලෙස ද හදුන්වා ගන්නේය.  


Tuesday, June 10, 2014

මගේ පුතා දිණුම්

ජීවිතයේ බොහෝ දේවල් දරුවන් වෙනුවෙන් කැප කරන දෙමව්පියෝ සිටිති.මිල මුදල් යාන වාහන වැනි භෞතික වස්තූන් දරුවන් වෙනුවෙන් උපයා ඉතිරි කරන්නෝද ඒ අතර වෙති.විටෙක එවැන්නෙක් නොවීම ගැන මම කණගාටු වෙමි.දුකට පත් වෙමි.විශේෂයෙන් මගේ පුතා විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය උෘනතා සහිත දරුවෙක් වීම නිසා එය මට තදින්ම දැනෙන්නේය.

පෙණුමෙන් එසේ යැයි සිතන්නට නොහැකි කොල්ලා දැන් හැඩ ගැටවරයෙකි.ඌ සතු හොදම ගුණාංගය මිනිසුන් කෙරෙහි දක්වන ඇල්මය.ඒ නිසාම මිනිසුන් පෙරළා ඔහුට ද දක්වන ලෙංගතු කම සෙනෙහස අපූරුය.විශේෂයෙන් මගේ මවගේ මරණය වු අවස්ථාවේ අහළ පහළ සිටි වැඩි ඇසුරක් නොමැති මුස්ලිම් අසල්වාසීන් මල ගෙදරට නොයෙකුත් ආධාර උපකාර සමග කඩා වැදුණේ පුතා නිසාය.මා සමග වචනයක් හෝ කතා කර නැති ඔවුන් පුතා ‍නිවසේ ගේට්ටුව අසළ සිට ඔවුන්ට නෑකම් කියමින් අමතන අයුරු කියමින් ඔහුගේ සුහදතාවය වෙනුවෙන් මල ගෙදර වෙනුවෙන් බොහෝ උදව් කරන්නට විය.

දැනට ද ඔහු වරක් ඇසුරු කළ අයෙක් වේ නම් බොහෝ සේ ආදරය දක්වයි.උදාහරණයකට වැලිකඩ බන්ධනාගාරයට නාට්‍ය පුහුණුවන අවස්ථාවලදී මම ඔහු රැගෙන යන අවස්ථා ඇත.ඒ ඔහුව තනියෙන් තබා යාමට හැකියාවක් නොමැති විටකදී ය.දැන් වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් මෙන්ම රැදවියන් ද කෝ මාස්ටර් පුතා යැයි ඇසීම සාමාන්‍ය සිරිතය.දුට සැනින් ඕනෑම කෙනෙකුට අත වනා ආචාර කිරීම කට පුරවා පිරිනමන සිනහව ඇතැම් විට පදනමක් නැතිව ඔහුගෙන් ගලා එන කාරණා වුව,ඒ සියල්ල මිනිසුන් ආකර්ශණය කර ගැනීමට සමත් ය.ඒ දේ සමග මොහු සමග බැදෙන පිරිස් අනතුරුව රූපවාහිණියෙන් දුටු ක්‍රිකට් විස්තර සමග තව තවත් බැද ගන්නා කොල්ලා,යම් මානසික ව්‍යාකූලතාවයකින් යුතු බව දැන ගන්නට වන්නේ එකම දේ පුනා පුනා කියන අස්වාභාවික දේ නිසාය.

මෙවැනි දරුව්නට කිසිවක්ම බැරි යැයි කිසිවකට වැද්ද නොගන්නා සිස්ටම් එකක මගේ දරුවා වාසනාවන්තය.විශේෂයෙන් බෙරැල්ල සීවලිය තුළ ඔහු සුහදතාවයෙන් සහ මිත්‍රත්වයෙන් ආරක්ෂිතය.කොන් වන්නේ නැත.

ඔහුට කුඩා කා‍ලයේ පටන්ම යමකට තාලයකට තට්ටු කරන්නට හැකියාව ඇත.එසේ වන්නට ඇත්තේ ඉතාම කුඩා අවධියේ සිට සංජක ප්‍රසාද් දොලේවත්ත,චමින්ද රාමනායක (රාමා) වැන්නන් අප නිවසේ බොහෝ විට නැවතී සිටි නිසා විය යුතුය.ඔවුන්ගේ භාන්ඩ වල හඩට මොහු කුඩා කාලයේ සිට දැක් වූ ඇල්ම එයට හේතු වන්නට ඇත.

ක්‍රීඩාව සම්බන්ධයෙන්ද කුඩා කාලයේ සිට ඔහු තුළ ඇති ආශාව අපූරුය.ඒ මා ක්‍රීඩා ලේඛකයෙක් වීම නිසා හට ගත්තක් වන්නට ඇත.එසේම චන්ද්‍රිකා සුභාෂිණී වැන්නියන් අප නිවසේම නැවතී සිටි නිසාත් ඒ නිසා ක්‍රීඩා උළෙල වලදී ඇයගේ ජයග්‍රහණත් පුතා ගේ ක්‍රීඩා රුචිය වැඩි කරන්නට හේතු වන්නට ඇත.මා කිසිවක අපේක්ෂා නොකරමින් මෙ'රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිරිකර දීම සදහා කළ අරගල මෙන්ම පුතා ද තමන්ට කළ නොහැකි නමුත් ක්‍රීඩාවේ ජයගන්නා අය වෙනුවෙන් ඔල්වරසන් දෙන්නට සහ කොඩියක් ගෙන වනමින් ජයග්‍රාහකයන්ට සුබ පැතීමට කැමැත්තක් දක්වන්නේය.

මේ කැමැත්තන් හී ප්‍රතිපලයක් ලෙස වරක් ඔහු දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලෙයේ සිටියදී සමස්ත ලංකා තරග දක්වා ගිය නැටුම් කණ්ඩායමේ තාලම් පොට වයන්නා විය.සීවලියේ හේවිසි කණ්ඩායමේ ද දවුල වයන්නට ඔහු සිටියි.එසේම ඉකුත් වසරේ පැවති විශේෂිත දරුවන්ගේ කළා උළෙලේ මා විසින් ලියා විද්‍යාලයේ සංගීතාචාරිණී ප්‍රියංකා කුමාරසිංහයන් විිසින් සංගීත නිර්මාණය කළ මේ ගීතයට ද පුතා සම්බන්ධ විය.

මේ අහස යට - මේ පොළව මත
එක ඉර හදෙන් ගණ අදුර මැඩ
මදහාස මල් පිපි සුවද දෙන 
එක සමානව ගෙන සිප ගන්න

නොකී වදනක අරුතක හදුනන
නොහැකි ගමණට වාරු සපයන
බිදි ගිය සිත් දමක් පාහන 
අපේ ලෝකය ඔබේ සෙනෙහස

එපා වෙනසක් දෙන්න දිරියක්
සිනා සිය හැකි සොදුරු දවසක්
උදා වන මග පහන් එළියක් 
වෙන්න අපි වෙමු ලොවට සවියක්

පාසල් කෙළි උළෙල දෙකකම ඔහු සරඹ සංදර්ශනයේ විය.වසර ගණනාවක් මා විසින් ජාතික තලයට ක්‍රීඩකයන් ගෙන ඒමට හා ඔවුන් රැක ගැනීමටත් කළ දේ ප්‍රසිද්ධියේ නොකිය වුණ ද,ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බව නිසැකය.ඒ ආශිර්වාදය හේතුවෙන් දෝ මෙවර විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙලේ බුද්ධිමය උානතා අංශයේ දුර පැනීම අවුරුදු 17 න් පහළ ඉසව්වේ පළමු තැනත්,යගුලිය ඉසව්වේ තෙවන තැනත් පුතාට හිමි විය.

මේ වාරේටම විවිධ හේතු නිසා පාසල් නොගොස් සිටි පුතා මේ සදුදා පාසලට ගිය අතර ඊයේ උදේ රැස්වීමේ දී පුතාට අදාළ ජයග්‍රහණ වෙනුවෙන් සහතික පිරිනැමීම විද්‍යාලයේ විදුහල්පති සිඩ්නි අශෝක ලොකුකුමාරයන් අතින් සිදු විය.ඒ අවස්ථාවේදී දරුවන් අතර ආදරයට පත් පුතා වෙනුවෙන් නැගුණු අත්පොළසම මට ඇස් දෙකට කදුළු නැංවීය.ඔහු ඉසව්වට වඩා මිනිසුන් ජයගැනීමේ සාර්ථකයෙකු වීම මට බෙහෙවින් සතුට උපදවන්නක් විය.ඒ මොහොතේ ඔහු ලැබූ සතුට මෙන්ම ආඩම්බරය ද කොහොමටත් ලස්සන ඔහුගේ අපූරු සිනහව තුළින් කදිමට පිළිඹිඹු විණි.

අද උදෑසනම නැගිට ඔහු පාසල් යන්නට සූදානම් වන්නේ ඒ ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාර මතය.මීට් එක තියෙනවා දිනන්න ඕනි යනුවෙන් ඔහු උදේම මට පවසන්නේය.ඒ සහතික හෝ ත්‍යාග ලබා ගැණීම පිණිස නොව උදේ රැස්වීමේ දී ලැබෙන පිළිගැනීම වෙනුවෙන් ය.

මෙය පුද්ගලික බැදීම් ගැන සටහනකි.ඇතැම් විට ඔබගේ කාලය කා දැමීමක් වන්නට ද පුළුවන.එහෙත් මේ මෙවැනි දරුවන් සිටින තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට පොදු විය නොහැකි ද?ඒ නිසා මෙය ලියන්නට සිත් විය.

බොහෝ දේ කාලය විසින් තීරණය කරනු ඇත.මගේ කාලය ඉපැයීම් වෙනුවට යොමු කිරීමට නිතැතින් සීමාවක් පැන නගින්නේ මෙතැනදී ය.එසේම මගේ දරුවා වෙනුවෙන් නොව දරුවා වෙනුවෙන් අන් දරුවන්ට යමක් කිරීම වෙනුවෙන් ද මට කාලය වැය කරන්නට සිදු වී ඇත.උදාහරණයකට විශේෂ නොවුණත් දැණුම අතින් අවස්ථා ලැබීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් අතින් පුතා ගේ අධ්‍යාපනික පරිසරය තුළ දරුවන්ට ඇති අඩු ඉඩ පුළුල් කිරීම සදහා ද මා යම් යම දේ සිදු කරමින් සිටින්නේය.මටම මේවා සදහා වැය වන්නට වී ඇත්තේ පුතා වඩාත් ඇළුම් කරන්නේ මට නිසාය.තවමත් මා හා සම මේ ගැටවරයා මා සිටින්නේනම් රාත්‍රී නින්දට පිවිසෙන්නේ මගේ පිට උඩය.ඕනෑම ප්‍රසිද්ධ තැනෙක මා කෙරෙහි ආදරය උතුරා ගිය විට  උම්මා කියමින් සිප ගන්නට මුහුණ දිගු කිරීම ඔහුගේ සිරිතය.

ඒ ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය.නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය.දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත.ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත.අමාරුම මිනිසුන් දිනා ගැනීමය.ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද,තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම්