Friday, June 20, 2014

මයිනහම සීරුවෙන්


දර්ගා නගරයේ ගිනි පුපුරු නිවී ඇත.ඒ මතු පිටින්ය.ඒත් මයිනහම සීරුවෙන් සිටියි.ඇවැසි වූ සැනින් යළිත් එය අවුලවන පිණිස අදින්නට පටන් ගන්නවා සැක නැත.

හුග දෙනෙක් සිංහල බෞද්ධයෝය.සරලම බසින් කියන්නේ නම් ඒ නිසා පොරවල් ඔවුන්ය.අනිත් අය හාල් පාරුවෝය.එසේනම් මේ හාල් පාරුවන්ගේ පැවත්ම තීරණය කිරීම පැවරෙන්නේ මේ පොරවල්වලට ය.නමුත් මේ අය කරන්නේ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍යය සාධක සැපයීම පසෙක ලා ඔවුන්ට බයේ කෑ ගැසීමය.වියරුවෙන් පහර දෙන්නට මං සෙවීමය.පොරක් එසේ වන්නේ ඒ පොරකම ඇතුළත ඇති හීනමානය නිසාම විය යුතුය.

මේ හීනමානයට හේතුව තමන් ඉන්නා මතය පිළිබදව ඇති අවිශ්වාසයය.නැතිනම් දෙගිඩියාවය.බුදු දහමේ හැටියට සියළු සත්වයෝ නිදුක් විය යුතුය.මිනිසා වසලයෙකු හො බමුණෙකු විය යුත්තේ ක්‍රියාවෙන්ය.මේ දර්ශනය තුළ බුදු හාමුදුරුවෝ "මේ දර්ශනය ගෙන හැර පාන්නේ ලෝකයටමය.බෞද්ධයන්ට පමණක් වලංගු විය යුතු බව හෝ සියල්ලෝම බෞද්ධයෝ විය යුතු බව වත් නොකියති.අවබෝධ කර ගැනීමේ ස්වභාවය නැණ පමණින් යැයි කියන්නේ ද ඒ නිසාය.

දැන් පැහැදිළි වන්නේ පොරවල් මේ දර්ශනය අවබෝධ කර ගෙන සිටින නැණ පමණමය.ඔවුන්ට අනුව සිංහල බෞද්ධයන්ට පළමු තැන හිමි විය යුතුය.නීතිය සහ සියල්ල සැකසිය යුත්තේ එලෙසය.සුදුස්සාට නිසි තැන ලැබීම සළකා බැලිය යුත්තේ ඉන් අනතුරුවය.බෞද්ධ හිමිනමක් ගමන් කරනා මගක ඔහුට ප්‍රථම කිසිවෙක් නොයා යුතුය.එය සිංහල බෞද්ධ නොවන්නේනම් තවත් බරපතලය.එවැනි අවස්ථාවක පහර දීමකට ලක් වූවේ නම්,ඉන් මිදීමට උත්සාහ නොකළ ගුටි කෑම සදහා ගැලපෙන ඉරියව්වකින් නොසැලී පිළිමයක් සේ සිටිය යුතුය.

මෙවැනි පහර දීම් අපට අනුව හිංසනය වුව,මේ දත් පමණින් ආගම තේරුම් ගත් අයට අනුව එය අයිතිවාසිකම් ය.සියල්ල අතහැර යන බව පදනම් කර ගත් අනිත්‍ය පිළිබදව මෙනෙහි කරන දහමක,අයිතිය ගැන කරන ප්‍රකාශ බහුලය.මෙම අයිතිය වෙනුවෙන් එනෙකා මරා හෝ කටයුතු කළ යුතුය යන්න පිළිබද කරන ප්‍රකාශ කොතෙකුත්ය.

මට බෞද්ධාගමේ තියෙන සියළු ගාථා මතක නැත.මතක තියා ගන්නට අවශ්‍යයද නැත.මා උදේ හවා බුදුන් වදින්නේ නැත.සිල් නොගනිමි.එහි වටිනාම දේ සියල්ලෝ නිදුකින් නිරෝගිව සුවයෙන් සිටිනු දැකීම වෙනුවෙන් කරන උත්තරීතර පැතුමය.එහිදී සියල්ල දෙස එසේ බලනු විනා අන් ජාතීන් දෙස සහ ආගමිකයන් දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් බැලීමට මම කැමති නැත.

මට මගේ දේවල් අත හරින්නට පුළුවන.මේ රටට  මට වඩා සේවයක් වන්නේ යැයි කුමන හෝ මාධ්‍යයකින් වන්නේ නම් ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් මට ඒ පරිත්‍යාගය කළ හැකිය.එසේ කළ අවස්ථා ද ඇත.මම හිතන්නේ ඒ බෞද්ධකම කියාය.එය කුමන හෝ වෛරී සංවිධානයක ගැත්තෙක් හෝ ඉත්තෙක් වී සෝදා හරින්නට මා අකමැතිය.

ඒ නිසාම දර්ගා නගරයේ සිදුවීම හරහා මම කම්පාවට පත්වන්නේ බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස් කළ දේ පිළිබදවය.අනෙකාගේ වපසරිය කවරේද යන්න බෞද්ධයා විසින් සිංහලයා විසින් දමන සීමාවන් තුළ නිර්නය කරන්නට දීම සහ එසේ අදහස් වන ප්‍රකාශ කිරීමම හානිකරය.මෙය දේශපාලන කියවීමක් වන්නේ නම් එයින් ඇති වන ප්‍රතිපලයන්ට අනුව ලොව පුරා විසිරී සිටින ලාංකේය පිරිස් වලට ඒ රටවල වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේ අයිතිය අහිමි වුව හොත් කරන්නේ කුමක්ද යන්නත් ඒ දේශපාලනය තුළ ප්‍රකාශයට පත් විය යුතුය.දැනට ක්‍රියාත්මක සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාර කිසිවක් එය විග්‍රහ කරන්නේ නැත.

ධර්මය බඩ ගින්නේ අවබෝධ කර ගත නොහැකිය.නමුත් දැන් සිදු වන්නේ හිස් බඩවල් වලට වෛරය පිරිවීමය.සැබෑ ධර්මය අවබෝධ කර දීමට යාම මුනින් අත හැර වූ කළයකට වතුර වැක්කිරීමක් බදු වන්නේ එබැවින්ය.මිනිසුන්ට ඇති සමාජ දේශපාලන සහ ආර්ථික ගැටළු හමුවේ ඇති කළකිරීම නිසා ඇති වූ හිස් බව ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් පුරවා වෛරයේ ගිණි පුපුරු ඒ මත තබා මයිනහම ඇදිම මේ මොහොතේ ස්වභාවය වී ඇත.එවිට රත් දැල්ලේ යකඩය තැලී පණ ගැසී නිර්මාණය වන්නේ සැබෑ ගැටළුකාරී තත්ත්වයන් කපා දැමීමට අවශ්‍යය ආයුධ නොවේය.පවතින බඩජහරි දේශපාලනයට ඇවැසි අවිය.

මේ කොන්ත්‍රාත්තුව පිණිස ලොව අවිහිංසාවාදීම සහ ප්‍රජාතන්ත්‍රවාදීම ආගමික දර්ශනය බිලි වෙමින් තිබීම ඛේදයකි.එයින් ඈත් වීමට කළ හැකි දේ සැබෑ බෞද්ධයන් වීමම පමණි.උදේ හවහ බුදුන් වැදීමෙන්,දන්නා සියළු ගාථා එක හුස්මට කියැවීමෙන් හෝ මේ තත්ත්වය නිර්මාණය කළ නොහැකිය.සියළු සත්වයන්ට නිදුක්,නිරෝගි බව පතමින් සුවය ප්‍රාර්ථනා කිරීම ඒ සදහා ඇති එකම විකල්පය වන්නේය.

එහෙත් වරින් වර ඇදෙන මයිනහමට ගිනි පුපුරු ඇවිලී පණ ගැසී එන බව අපි දකිමු.ඇතැම් විට ඒ ගිණි පුපුරු වලින් අප ද දැවී අළු වි යා හැකිය.එහෙත් එකක් සහතික කර ලියා තැබිය යුතුය.මේ මයිනහම ඇද පණ පොවා ජාතිවාදී ආයුධයක් තැනීමට නම් මගේ හදවත නම්‍යශීලී නොවෙන බව සහතිකය.

එසේම මම සිංහලයා බෞද්ධ විය යුතුව ඇතැයි විශ්වාස නොකරමි.විශෙෂයෙන් ඕනෑම ජාතියක අයෙකුට බෞද්ධ වීමේ හැකියාව සහ අවස්ථාව ඇති බව මගේ විශ්වාසය වන්නේය.බුදුන් වහන්සේට ද ජාතියක් හෝ කුලයක් නොතිබිණ.බෙදීම් වලින් වන්නේ නිරනත්රයෙන් පාර්ශවයක් හෝ පාර්ශව ගණනාවක් පීඩාවට පත් වීමය.එහෙත් අද රටේ ක්‍රියාත්මක වන බෞද්ධාගම කුල මත පදනම් නිකාය වලට බෙදී ගිය ආගමක් වී ඇත.නිවැරදි බුද්ධාගම ස්ථාපිත කිරීමේ විප්ලවය එසේනම් ඊට පෙර ඇරඹිය යුතුය.සිංහල බෞද්ධයා රැකීමට පෙර කුල පදනම් නිකාය සහිත බුද්ධාගම බෞද්ධ නිකාය බවට පත් කිරීම පළමුවෙන් ඇරඹිය යුතුය.

හැකිනම් දර්ගා නගරයට පිවිසෙන්නට පෙර බෙදීම් වලින් තොර එක දර්ශනයක් සහිත ආගමක් ලෙස බෞද්ධාගම එහි සැබෑ ස්වරූපයට ගෙන එන්න. එය නුතණ බෞද්ධාගමේ සැබෑ අභියෝගය වන්නේය.

Sunday, June 15, 2014

ජීවිතය අහිංසක වී කවිය කොමර්ෂල් වීම



ගෙදර පුංචි වලියක්!ඒ දුව.

අයියා ගැන විතරද තාත්තා ලියන්නෙ?

ඇයි මම ගැන ලියන්නෙ නැත්තෙ?.............

ඇය ඇයගේ සුදුසුකම් ඉදිරිපත් කරනවා.අධ්‍යාපනික දක්ෂතා,චිත්‍ර කලාවේ හැකියාව,නැටුමේ මෙන්ම ගැයීමේ ද ඇති කුසලතා....ලිවීම.....

මගේ පුතා ගැන සටහන බලපු ආදරණීය මිතුරියක් පුතා සමග දුරකතනයෙන් කතා කළා.අරගලය ඉහළටම නැගල එන්න ගත්තා.දුවටත් කතා කරන්න ඕනි වුණා.අවසානයේ ඒ සහෝදරිය දුව සමගත් කතා කළ නිසා මගේ කන් දෙකට විදින්න තිබුණු විශාල වදයක් හීනි වුණා.

ඇය සැබෑවටම දක්ෂයි.පිළිගත් අධයාපනික සහ භාහිර ක්‍රියාවන්හී දී ඇය පුතා මෙන් ගව් ගණනක් ඉදිරියෙන්ය.එහෙත් මේ සටහන ඇතැම් විට ඔබට එතරම් වැදගත් කමක් නොවන්නට පුළුවන.එහෙත් ඇය ගැන ලියන්නට කරන ඇයගේ බලකිරීම නිසාම නොව දෙදෙනාගේ වෙනස ද නිසා මෙය මා ලිවිය යුතු බව හැගිණ.

පුතා ගැන ඇති සුවිශේෂත්වය කවරේද යන්න මම මිට පෙර ලීවෙමි.ඔහු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෙක් වුව බොහෝ සෙයින් කාරුණික සහ මිත්‍රශීලි හදවතක් ඇති අයෙක් බව ද මම පැහැදිළි කළෙමි.එහෙත් දුව කාරුණික වන්නේ යම් තරමකටය.ඇයට සීමාවන් බොහෝ ඇත.

ඇයට යාමට අවුරුදු 5 පමණ පිරෙන විටම හැඩට අදින්නට පටන් ගත්තේය.චිත්‍ර කර්මය ඉගෙන ගන්නා බෝගහවත්ත ගුරුතුමාට අනුව දියණි කවෝදි,සිය වයසට වඩා අදින මිනිස් රූප වලදී,වියපත් බවක් පෙන්වන්නේය.ජාතික සහ ජාත්‍යන්තර තලයේද යම් ඇගයීම් ලැබුණ ද,සමහර විට ඒ රූප වල මේරු පෙණුම ඇයට ඊට වඩා විශාල ජයකට බාධා වන්නට ඇත.ඒවා අදින්නේ ඇය යැයි සැක උපද්දන්නට ඇත.

කාලයක සිට මා ලියා එකතු කර ගත් ළමා කතා කිහිපයක් පොත් වශයෙන් එළි දැක්වීමට චිත්‍ර ඇදීමේ කාර්යය දුවට පවරන්නට මා සිතා ගත්තේ ඒ නිසාය.එහෙත් එය යෝජනා වූ සැනින් දුව ඇසූ පැනයෙන් මා කරකවා අත හැරිය ගාණට වැටිණ.

කීයක් මට දෙනවද?

ඒ පැනය ගැන මා මිතුරෙකුට කී විට ඔහු කීවේ දුවට පුතා ගේ මෙන් මානසික අපහසුවක් නැති නිසා ඒ පැනය හොද බවය.ගෙදර ඇතුළට මිතුරාගේ හඩ වාර්තා වූ විට මිතුරාගේ කතාව සත්‍යය නම් පුතා ගේ පමණක් නොව පියාගේද හිස පරික්ෂා කරන්නට අවශ්‍යය සාධක ගණනාවක් යවුලක් ලෙස ගෙන මගේ කණ පතුලට කිදා බස්සන්නට විය.

සුනිල් මාධවයන් ලක්ජන පත්තරය එළි දක්වද්දි එහි පළමු පිටුවේ පිංතූරය වූයේ මගේ පුතාගේ පිංතූරයක්ය.රවින්ද්‍ර පුශ්පකුමාරයන්ගේ කාචයේ සිතුවම් වූ ඒ පිංතූරය පසුව වරින්වර විවිධ දේ සදහා යොදා ගනු ලැබිණ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මගේ දේශය අවදි කරනු මැන කළා උළෙල වෙනුවෙන් විකුණන ලද ස්ටිකරයක් වුණේ ද ඒ පිංතූරයය.තවත් අවස්ථා ගණනකදී අනවසරයෙන්ම මේ පිංතූරය යොදා ගෙන තිබෙන බව සැළ වුව ද,මට වෙඩ්ඩා විසින් (මංජුල වෙඩ්වර්ධන) සොයා ගෙනවිත් දුන් කතෝලික පියතුමෙක් ලියූ ගී පොතක එම පිංතූරය කිතුණු උපත වෙනුවෙන් ලියූ ගීයකට යොදා තිබෙනු දැක ගන්නට හැකි විය.

එම පියතුමාගේ පොත මට ලැබෙන විට පුතා ඒ වන විට උගනමින් සිටි පාසලේ ගුරුවරියක ලෙස සිටි කන්‍යා සොහොයුරියක පුතුව පාසලෙන් ඉවත් කළ යුතු තැනට කටයුතු නිර්මාණය කරමින් සිටියේය.එහිදී මා කන්‍යා සොහොයුරිය මුණ ගැසීමට ගියේ පියතුමාගේ ගීතිකා පොත ද සමගින්ය.

සිස්ටර් මේ ෆාදර්ට කතා කරල කියන්න කිතු උපතට දාලා තියෙන පිංතූරෙ ඉන්නෙ මේ වගෙ ළමෙක්,ඒකෙන් කිතු උපතට හානි වෙනවා කියලා...

මගේ යෝජනාව පියතුමා වෙත ඉදිරිපත් කිරීමට කන්‍යා සොහොයුරිය ඉදිරිපත් නොවුණ ද,ඇය ඉන් අනතුරුව පුතාට මහත් සෙනෙහසින් සැළකුවා පමණක් නොව ඇය විශේෂ අධ්‍යාපනය පිළිබදව දිගු හැදෑරිමකට ද පිවිසුණාය.

දුව සම්බන්ධයෙන් එවැනි කරදර වලට මුහුණ පෑමට සිදු වී නැත.ඇය සම්බන්ධයෙන් වන්නේ පවත්වන සෑම දෙයකටම ඇය තෝරා ගැනීම නිසා අපට හුස්ම ගැනීමට ඇති ඉඩ-කඩ සීමා වීම සහ සාක්කු හෑල්ලු විමය.ඒ ඉදිරිපත් වීම්,අයැදීම්  සියල්ල මුදල් අනුව සාර්ථක වන බව තේරෙන නිසා මෙන් දුව සෑම දෙයක්ම මුදලට කර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි මම නොදනිමි.

පුතා මෙන් තෑන්ක්ස් වලින් නිවෙන දෙයක් දුව තුළ නැත.ඇය අවම තරමේ කළ දේ පිළිබදව කුමණ හෝ ඇගයීමක් හෝ බලාපොරොත්තු වන්නේය.උදාහරණයකට මේ ලිපිය සදහා මා පොළඹවන්නේම ඇය විසින් දරුවන් දෙදෙනාට දෙදෙනෙක් ලෙස සැළකීම සම්බන්ධයෙන් ගෙන එන විරෝධය ය.

මා පුතු ගැන ලියූ ලිපියේදී කියවන්නට නොදත් ඔහුව කැදවා ඒ ලිපිය සහ පළ වී ඇති කමෙන්ට්ස් කියා දුන්නද,ඔහුට එය වැඩි ගතියක් ගෙන දුන්නේ නැත.නමුත් වෙඩ්ඩා මුහුණු පොතේ ඒ ගැන ලියා තැබූ දේ පිළිබදව මෙන්ම දුරකතනයෙන් කතා කර පුතා සමග පිළිසදරක යෙදී තරුරසී ද ඔහුට විශේෂය.

විටෙක නාට්‍ය පුහුණුව සදහා මා සමග වැලිකඩ බන්ධනාගාරයට යන ඔහු මෙවර ගිය අවස්ථාවේ දි සම්පූර්ණයෙන්ම මාතෘකාව කර ගත්තේ වෙඩ්ඩාව සහ තරුරසී ය.දැන් නාට්‍යයට සම්බන්ධ සෑම රැදවියෙක්ම වෙඩ්ඩා ගැනත් තරුරසී ගැනත් දන්නේය.ඔහු වෙඩ්ඩාව හොදටම දන්නේය.කුඩා කාලයේ ඇතැම් විට හැඩුම නැවතුණේ ද ඒ රැවුලේ පැටලුම් හරිමින්ය.ඒත් තරු මාවත් දැක නැත්තේය.එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත.දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඩ බොහ‍ෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

වෙනත් අවස්ථාවෙක බන්ධනාගාරයේ සිට පැමිණෙද්දී, පුතා බොහොම කණස්සල්ලෙන් කියූ කතාවක් මට මතක් වෙන්නේය.

මේ යාළුවන්ට නිදා ගන්න ඇදවල් නැහැ නොවැ.අරං දෙනවකො

රැදවියන් ගැන ඔහු මට කීවේ එලෙස ය.එ් ඔහු වචන පාවිච්චි කරන හැටිය.සමහර විට ඊට වඩා දරුණු වචන ද භාවිතයට ගන්නේය.හැබැයි නිවැසියන්ගෙන් පිටට ඒ භාෂිතය නැති තරම්ය.පුතා මෙන්ම දියණි ය ද එහි ගිය විටෙක අපූරු කතාවක් කීවේය.ඇය හා කතාවට වැටි රැදවියෙක් ඔවුන්ට එළියෙ සැප නැති බව හගවමින් නිදා ගන්නේ බිම යැයි කීවේය.

ඉතිං ඇයි ඕගොල්ලො වැරදි කළේ?වැරදි කරාම එහෙම ඉන්න ඕනි.

ඒ දුව එම රැදවියාට දුන් පිළිතුරය.ඔහු ඒ සම්බන්ධයෙන් අකමැති වූවාට සැක නැත.එහෙත් ඒ දුවගේ හැටිය.මමත් බොහෝ විට කියන දේ මුහුණට කියන්නේය.එහෙත් වැඩකදී ඊට අවශ්‍යය ගාණක් කියන්නට දිව පැටලෙන්නේය.ඒ නිසාම මග බලන පුංචි ඇස් වල බලාපොරොත්තු විනාශ කරමින් හිස් අතින්ම පෙරළා ගෙදර එන්නට සිදු වන වාර අනන්තය.

මේ ළගදී දිනෙක ආදරණීය සහෝදරයින් තිදෙනෙක්ගේ පොත් එළි දැක්වීමකට ගියේය.ඉන් දෙදෙනෙක්ම සිය මාධ්‍ය ජීවිතය ඇරඹීමට මා දිරියක් වූ බව සිය පොත් වල ලියා තිබිණ.අමුතු ආකාරයේ පොත් එළි දැක්වීමක් වූ එහි වූ ප්‍රාසාංගික උළෙල කළමණාකරනය කළේ මා ය.රාත්‍රියේ නිවසට පැමිණි මා එම පොත් දෙකේ කතුවරුන් සිය පොත් වල මගේ නම සදහන් කරන්නට ඉදිරිපත් වීම ගැන බොහෝ සතුටින් කියන්නට විණ.

නිදි ගැට කඩමින් අවදිව පැමිණි දියණිය ද,එයට සවන් දුන්නාය.

කෝ ඉතිං ඒ පොත්? ඇයි ඔයාට දුන්නෙ නැද්ද? ඔයා ගැන ලියපුවා බලන්න මම සල්ලි දීල ද ගන්න ඕනි?

ඇය නැගිට වැනි වැනී ගොස් ඇදට වැටුනාය.මට ද කුමක්දෝ අඩුවක් දැණින.දන්නා හිතවතෙකුගේ යමක් පළ වූ විට එහි පත්තරයක් නොමිළේ ගෙනත් එම මිතුරාට දීම පත්තර කන්තෝරුවල සිටියදි පවා මම බොහෝ විට කළෙමි.දුව වැරදි නැත...

අවසානයේ සටහන දිගු නොකොට දෙදෙනා ජිවිතය සහ කවිය වූ හැටි ලියා තබන්නම්.පුතා ගේ මානසික අර්බූදය නිසා ම අපි දරුවෙක් ගැන නොසිතුවෙමු.එහෙත් මිත්‍ර වෛද්‍යවරුන්ගේ ද මග පෙන්වීම මතු දුව අප අතරට පැමිණෙන්නට වසර අටක් ගත විය.ඒ දක්වා 'මගේ ජිවිතය' ලෙස මම පුතුව හැදින්විමි.අනතුරුව බිරිදගේ ජිවිතය යාන්තමට රැකුණු බොහෝ සෞඛ්‍ය ගැටළු ඉතිරි කළ දුවගේ උපත වේදනාවෙන් උපන් කවියක් බදු විය.ඒ නිසාම නමින් කවෝදි වූ ඇය මගේ 'කවිය' විය.දෙපළ අද ද මා විසින් ආමන්ත්‍රණය කරන්නේ එලෙසය.පුතා ඇතැම් විටෙක එයට අඩු පුරවමින් ඔහු 'තාත්තාගේ රත්තරන් ජීවිතය' ලෙස ද හදුන්වා ගන්නේය.  


Tuesday, June 10, 2014

මගේ පුතා දිණුම්

ජීවිතයේ බොහෝ දේවල් දරුවන් වෙනුවෙන් කැප කරන දෙමව්පියෝ සිටිති.මිල මුදල් යාන වාහන වැනි භෞතික වස්තූන් දරුවන් වෙනුවෙන් උපයා ඉතිරි කරන්නෝද ඒ අතර වෙති.විටෙක එවැන්නෙක් නොවීම ගැන මම කණගාටු වෙමි.දුකට පත් වෙමි.විශේෂයෙන් මගේ පුතා විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය උෘනතා සහිත දරුවෙක් වීම නිසා එය මට තදින්ම දැනෙන්නේය.

පෙණුමෙන් එසේ යැයි සිතන්නට නොහැකි කොල්ලා දැන් හැඩ ගැටවරයෙකි.ඌ සතු හොදම ගුණාංගය මිනිසුන් කෙරෙහි දක්වන ඇල්මය.ඒ නිසාම මිනිසුන් පෙරළා ඔහුට ද දක්වන ලෙංගතු කම සෙනෙහස අපූරුය.විශේෂයෙන් මගේ මවගේ මරණය වු අවස්ථාවේ අහළ පහළ සිටි වැඩි ඇසුරක් නොමැති මුස්ලිම් අසල්වාසීන් මල ගෙදරට නොයෙකුත් ආධාර උපකාර සමග කඩා වැදුණේ පුතා නිසාය.මා සමග වචනයක් හෝ කතා කර නැති ඔවුන් පුතා ‍නිවසේ ගේට්ටුව අසළ සිට ඔවුන්ට නෑකම් කියමින් අමතන අයුරු කියමින් ඔහුගේ සුහදතාවය වෙනුවෙන් මල ගෙදර වෙනුවෙන් බොහෝ උදව් කරන්නට විය.

දැනට ද ඔහු වරක් ඇසුරු කළ අයෙක් වේ නම් බොහෝ සේ ආදරය දක්වයි.උදාහරණයකට වැලිකඩ බන්ධනාගාරයට නාට්‍ය පුහුණුවන අවස්ථාවලදී මම ඔහු රැගෙන යන අවස්ථා ඇත.ඒ ඔහුව තනියෙන් තබා යාමට හැකියාවක් නොමැති විටකදී ය.දැන් වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් මෙන්ම රැදවියන් ද කෝ මාස්ටර් පුතා යැයි ඇසීම සාමාන්‍ය සිරිතය.දුට සැනින් ඕනෑම කෙනෙකුට අත වනා ආචාර කිරීම කට පුරවා පිරිනමන සිනහව ඇතැම් විට පදනමක් නැතිව ඔහුගෙන් ගලා එන කාරණා වුව,ඒ සියල්ල මිනිසුන් ආකර්ශණය කර ගැනීමට සමත් ය.ඒ දේ සමග මොහු සමග බැදෙන පිරිස් අනතුරුව රූපවාහිණියෙන් දුටු ක්‍රිකට් විස්තර සමග තව තවත් බැද ගන්නා කොල්ලා,යම් මානසික ව්‍යාකූලතාවයකින් යුතු බව දැන ගන්නට වන්නේ එකම දේ පුනා පුනා කියන අස්වාභාවික දේ නිසාය.

මෙවැනි දරුව්නට කිසිවක්ම බැරි යැයි කිසිවකට වැද්ද නොගන්නා සිස්ටම් එකක මගේ දරුවා වාසනාවන්තය.විශේෂයෙන් බෙරැල්ල සීවලිය තුළ ඔහු සුහදතාවයෙන් සහ මිත්‍රත්වයෙන් ආරක්ෂිතය.කොන් වන්නේ නැත.

ඔහුට කුඩා කා‍ලයේ පටන්ම යමකට තාලයකට තට්ටු කරන්නට හැකියාව ඇත.එසේ වන්නට ඇත්තේ ඉතාම කුඩා අවධියේ සිට සංජක ප්‍රසාද් දොලේවත්ත,චමින්ද රාමනායක (රාමා) වැන්නන් අප නිවසේ බොහෝ විට නැවතී සිටි නිසා විය යුතුය.ඔවුන්ගේ භාන්ඩ වල හඩට මොහු කුඩා කාලයේ සිට දැක් වූ ඇල්ම එයට හේතු වන්නට ඇත.

ක්‍රීඩාව සම්බන්ධයෙන්ද කුඩා කාලයේ සිට ඔහු තුළ ඇති ආශාව අපූරුය.ඒ මා ක්‍රීඩා ලේඛකයෙක් වීම නිසා හට ගත්තක් වන්නට ඇත.එසේම චන්ද්‍රිකා සුභාෂිණී වැන්නියන් අප නිවසේම නැවතී සිටි නිසාත් ඒ නිසා ක්‍රීඩා උළෙල වලදී ඇයගේ ජයග්‍රහණත් පුතා ගේ ක්‍රීඩා රුචිය වැඩි කරන්නට හේතු වන්නට ඇත.මා කිසිවක අපේක්ෂා නොකරමින් මෙ'රටට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිරිකර දීම සදහා කළ අරගල මෙන්ම පුතා ද තමන්ට කළ නොහැකි නමුත් ක්‍රීඩාවේ ජයගන්නා අය වෙනුවෙන් ඔල්වරසන් දෙන්නට සහ කොඩියක් ගෙන වනමින් ජයග්‍රාහකයන්ට සුබ පැතීමට කැමැත්තක් දක්වන්නේය.

මේ කැමැත්තන් හී ප්‍රතිපලයක් ලෙස වරක් ඔහු දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලෙයේ සිටියදී සමස්ත ලංකා තරග දක්වා ගිය නැටුම් කණ්ඩායමේ තාලම් පොට වයන්නා විය.සීවලියේ හේවිසි කණ්ඩායමේ ද දවුල වයන්නට ඔහු සිටියි.එසේම ඉකුත් වසරේ පැවති විශේෂිත දරුවන්ගේ කළා උළෙලේ මා විසින් ලියා විද්‍යාලයේ සංගීතාචාරිණී ප්‍රියංකා කුමාරසිංහයන් විිසින් සංගීත නිර්මාණය කළ මේ ගීතයට ද පුතා සම්බන්ධ විය.

මේ අහස යට - මේ පොළව මත
එක ඉර හදෙන් ගණ අදුර මැඩ
මදහාස මල් පිපි සුවද දෙන 
එක සමානව ගෙන සිප ගන්න

නොකී වදනක අරුතක හදුනන
නොහැකි ගමණට වාරු සපයන
බිදි ගිය සිත් දමක් පාහන 
අපේ ලෝකය ඔබේ සෙනෙහස

එපා වෙනසක් දෙන්න දිරියක්
සිනා සිය හැකි සොදුරු දවසක්
උදා වන මග පහන් එළියක් 
වෙන්න අපි වෙමු ලොවට සවියක්

පාසල් කෙළි උළෙල දෙකකම ඔහු සරඹ සංදර්ශනයේ විය.වසර ගණනාවක් මා විසින් ජාතික තලයට ක්‍රීඩකයන් ගෙන ඒමට හා ඔවුන් රැක ගැනීමටත් කළ දේ ප්‍රසිද්ධියේ නොකිය වුණ ද,ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බව නිසැකය.ඒ ආශිර්වාදය හේතුවෙන් දෝ මෙවර විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙලේ බුද්ධිමය උානතා අංශයේ දුර පැනීම අවුරුදු 17 න් පහළ ඉසව්වේ පළමු තැනත්,යගුලිය ඉසව්වේ තෙවන තැනත් පුතාට හිමි විය.

මේ වාරේටම විවිධ හේතු නිසා පාසල් නොගොස් සිටි පුතා මේ සදුදා පාසලට ගිය අතර ඊයේ උදේ රැස්වීමේ දී පුතාට අදාළ ජයග්‍රහණ වෙනුවෙන් සහතික පිරිනැමීම විද්‍යාලයේ විදුහල්පති සිඩ්නි අශෝක ලොකුකුමාරයන් අතින් සිදු විය.ඒ අවස්ථාවේදී දරුවන් අතර ආදරයට පත් පුතා වෙනුවෙන් නැගුණු අත්පොළසම මට ඇස් දෙකට කදුළු නැංවීය.ඔහු ඉසව්වට වඩා මිනිසුන් ජයගැනීමේ සාර්ථකයෙකු වීම මට බෙහෙවින් සතුට උපදවන්නක් විය.ඒ මොහොතේ ඔහු ලැබූ සතුට මෙන්ම ආඩම්බරය ද කොහොමටත් ලස්සන ඔහුගේ අපූරු සිනහව තුළින් කදිමට පිළිඹිඹු විණි.

අද උදෑසනම නැගිට ඔහු පාසල් යන්නට සූදානම් වන්නේ ඒ ජයග්‍රහණයට ලැබුණු ප්‍රතිචාර මතය.මීට් එක තියෙනවා දිනන්න ඕනි යනුවෙන් ඔහු උදේම මට පවසන්නේය.ඒ සහතික හෝ ත්‍යාග ලබා ගැණීම පිණිස නොව උදේ රැස්වීමේ දී ලැබෙන පිළිගැනීම වෙනුවෙන් ය.

මෙය පුද්ගලික බැදීම් ගැන සටහනකි.ඇතැම් විට ඔබගේ කාලය කා දැමීමක් වන්නට ද පුළුවන.එහෙත් මේ මෙවැනි දරුවන් සිටින තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට පොදු විය නොහැකි ද?ඒ නිසා මෙය ලියන්නට සිත් විය.

බොහෝ දේ කාලය විසින් තීරණය කරනු ඇත.මගේ කාලය ඉපැයීම් වෙනුවට යොමු කිරීමට නිතැතින් සීමාවක් පැන නගින්නේ මෙතැනදී ය.එසේම මගේ දරුවා වෙනුවෙන් නොව දරුවා වෙනුවෙන් අන් දරුවන්ට යමක් කිරීම වෙනුවෙන් ද මට කාලය වැය කරන්නට සිදු වී ඇත.උදාහරණයකට විශේෂ නොවුණත් දැණුම අතින් අවස්ථා ලැබීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් අතින් පුතා ගේ අධ්‍යාපනික පරිසරය තුළ දරුවන්ට ඇති අඩු ඉඩ පුළුල් කිරීම සදහා ද මා යම් යම දේ සිදු කරමින් සිටින්නේය.මටම මේවා සදහා වැය වන්නට වී ඇත්තේ පුතා වඩාත් ඇළුම් කරන්නේ මට නිසාය.තවමත් මා හා සම මේ ගැටවරයා මා සිටින්නේනම් රාත්‍රී නින්දට පිවිසෙන්නේ මගේ පිට උඩය.ඕනෑම ප්‍රසිද්ධ තැනෙක මා කෙරෙහි ආදරය උතුරා ගිය විට  උම්මා කියමින් සිප ගන්නට මුහුණ දිගු කිරීම ඔහුගේ සිරිතය.

ඒ ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය.නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය.දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත.ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත.අමාරුම මිනිසුන් දිනා ගැනීමය.ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද,තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් 

Saturday, June 7, 2014

අසිරිමත් උපත




මට පෙරේදා රාත්‍රියේ අමුතු තරු අහසේ පෑයු බවක් මතක නැත.සමහර විට අහස බලන්නට අමතක වීම නිසා එවැන්නක් සිදු වන්නට හැකි නිසා මම ඒ ගැන නොසළකමි.එහෙත් පෙරේදා හවස්වරුවේ සිට අනුරාධපුර රෝහල ලුම්බිණි සල් උයන මෙන් සරසෙන්නට ඇත.පුරුෂ ලිගුවක ආනුබාවය ගැන සදහන් නොමැති ඇත් පැටවෙක් නෙළුමක් නැති නම් අඩු තරමේ ගදපාන මලක් හෝ ගෙන ගර්භයට වැද ඇති කළ කළලයකින් ඈ දරුවෙක් වදන්නට විලි රැදා සැදී උන්නාය.අෑ නිරෝෂා ය.නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි නොහොත් නයි නළගනය.

සිද්ධිය එසේ නොවන්නේනම් ඇය මරියා ට අත් වූ ඉරණමට මුහුණ දුන්නාද?ජුසේ ගෙ නිශ්පල බව තිබියදීම දෙවියන් අතින් ඇය ගැබ් ගත්තාද?මෙන්න මෙවැනි බොහෝ හැගීම් පහළ කරමින් බ්‍රේකින් නිව්ස් පවා යොදමින් නිරෝෂාගෙ දරු උපතට සූදානම් වීමේ සිට ජනමාධ්‍ය පෙළහර පාන්නට විය.විලියම් කුමාරයාට දාව කේට් කුමරිය පැටවා ගැසීම තරමටම මේ පුවත වැදගත් වූයේ මන්ද?

එයින් පැහැදිළි වන්නේ අපේ ජනමාධ්‍ය ප්‍රධාන ධාරාවේ ප්‍රශ්න වලින් දුරස්ව,  කුණු රසය වැළදීමට පාඨකයාව හුරු කිරීමට දක්වන කැමැත්තයි.මතු පිටින් සරලව පෙණුන ද එය දේශපාලනික කාරණයකි.එසේම මාධ්‍යකරුවාගේ සදාචාරයේ වර්ගපලය හැකිලී යාමකි.

නිරෝෂා යනු අපේ සදාචාර බසින් හදුන්වන විට බඩුවකි.බඩු නරකය.බදින්නට නම් ගැලපෙන්නේම නැත.බඩුවක් කරන්නේ නීතියට අනුව වැරද්දක් නිසා මේ විදිහට කියන්නට තරම් අපේ සමාජය නීති ගරුකය.මාධ්‍යද මේ සාමාන්‍ය ජනයා ගණයට වැටි ජඩ වීම යුතු ද යන්න නිරෝෂාගේ ගැටළුවත් සමග මට මාධ්‍ය ගැන පැන නගින ගැටළුවයි.

නිරෝෂා සැගවි සිටියේ කාලයක් නයා ගෙන් පසු ඇය ගැන නයාගෙ කතාව ඉක්මවා ජනමාධ්‍ය විසින් වැපුරූ දේ නිසාය.ඇයගේ පෞද්ගලික ජීවිතය පත්තර වලින් තරු මැරූ බොහෝ දෙනෙක් කල්පනා කළේ ඇයට දෂ්ඨ කරන්නේ නොහොමද කියා ය.මේ තත්ත්වය නිසා ඇයගේ ජීවිතයට පිරිමි කෙනෙක් අයිති කර ගන්නට නොඑන තත්ත්වයක් උද්ගත වූ අතර හැමෝටම අවශ්‍යය වූවේ ගොඩ වී බැස යන්නටය.

ඒ තත්ත්වය තුළ දැන් ඇයට දරුවෙක් ලැබෙන්නට යන්නේය.දරුවෙක් ලැබිලාය.මේ දරුවා ගොඩ වී බැස ගිය අයෙකු විසින් අමතක වී දමා ගිය දෙයක්ද?එසේත් නැතිනම් ඇයව කවුරුන් හෝ විවාහ කර ගැනිම නිසා ලැබුණු දෙයක්ද?

පළමු තත්ත්වය තුළ දී කාරණය දෙවිදිහකට විය හැකිය.දරුවා කාගේද කියාවත් දන්නේ නැති වන්නට ද පුළුවන.එසේම කවුරුන් හෝ ඇයව අනියම් බිරියක් ලෙස තබා ගෙන තබා දුන් දායාදයක් ද විය හැකිය.එසේ නොවී ඇයව සෙනෙහසින් පෙර වැරදි අමතක කර ආදරයෙන් භාර ගත් අයෙක්ට දාව මේ දරුවා උපන්නේ නම් දැන් මේ මාධ්‍ය සිදු කරන්නේ සාමාන්‍ය සමාජයට ඔහු අනියමින් පොන්නයෙක් කර හදුන්වා දීමය.

මොකද සාමාන්‍යයෙන් ඒ උත්තරිතර පිරිමි කමට සමාජය කියන්නේ එසේය.ඒ මතය වෙනස් කරන්නට ජනමාධ්‍ය කිසිවක් නොකරන අතර ඔවුන් කරන්නේද ගැහැණියගේ ලේ බිංදුව ලෙව කන්නට බලා සිටින තිරිසන් සමාජයේ තෘප්තිය වෙනුවෙන් කන්‍යාභාවය දේවත්වයට පත් කර සැළකීමය.මේ දෙවිවරු විසින් හොලවන ලේ අනාත භාවයේ ගිලෙන බව කියමින් සහ සිතමින් ඊට එරෙහිව වචන පාවිච්චි කරන්නට මාධ්‍ය සදාචාරයේ ඉඩක් නැත.

නමුත් නිරෝෂා වැන්නියක් යළි යළිත් දූෂණය කිරීමට මාධ්‍ය සදාචාරයේ ඇති ඉඩ නම් ඇදෙන සුළුය.නිශ්චිත වර්ගපලයක් නොමැති ඒ ඉඩ කුණු ඔබන්නට ඔබන්නට පුළුල් වෙමින් පිරිමින්ට ස්වයං විනදනය පිණිස සහ ගෑණුන්ට කම්බුලේ අත ගසා ගෙන සදාචාරය ගැන කියන්නට ඕන තරමට කරුණු සම්පාදනය කර දෙන්නේය.

දැන් නිරෝෂා මාතෘකාව කර ගනිමින් මාධ්‍ය කරන්නේ ඇයට පෙර ජීවිතයෙන් ගැල වී යන්නට ඇති ඉඩ වසා දැමීමය.යළිත් ඇය බඩුවක් කිරීම හෙවත් බඩුවකට යහපත් ජීවිතයකට ප්‍රවේශ වීමට ඇති අයිතිය අවලංගු කිරීමය.උදේ හවා බුදු බණ පැතිරෙන රටක බඩුවයි කියා කොන් කරන චරිත වලට ද හරිනම් ගෞවරණිය ජීවිතයකට අයිතිය තිබිය යුතුය.

බුඩුව හෑල්ලුය.ඒකට අනින බඩු කාරය‍ා පට්ටපොරය.සමාජය සැකසී තිබෙන්නේ මේ විදහට ය. මාධ්‍ය ඊට එරෙහිව කැරළි ගැසිය යුතු වුවත් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ඨියෙන්ම නිරෝෂ දෙස බැලීමය.ඇය නළගණක ව සිටීම අයථා ලිංගික සබදතා සහිත ජීවිතයක් පැවතීම නිසා ඇයට විවාහ වන්නට හෝ දරුවෙක් වදන්නට හෝ අයිතිය අහිමි කිරීම අපේ මාධ්‍ය සංස්කෘතිය වී ඇත.

එසේම මේ වාර්තාකරණයේ තියෙන අනිත් කාරණය උපදින දරු පැටවාට ගෞවරවණීය ජීවත්වීමේ අයිතිය ගර්භාෂයෙන් එබී බලන්නටත් පෙරම අහෝසි කර දැමීමය.ඇය හෝ ඔහු දෙස කාලකණ්නි සමාජයට බඩුකාරයාගේ දුව හෝ පුතා දෙස බලන්නට සමාජය හුරු කිරීමය.මම ඊයේ රාත්‍රියේ දැන ගත් පරිදි වෙලේ සුදාගේ දියණියන් දෙදෙනා ඔවුන් ඉගෙනගත් පාසල් වලින් ඔහු කුඩුකාරයෙක් බව දැන ගත් විට ඉවත දමා ඇත.ඊට පෙර එම දරුවන් දෙදෙනා පාසල් සංවර්ධන අරමුදලට පරිත්‍යාගග කරන කොට ගත් මුදල් ද වෙලේ සුදාගේ කුඩු වලින් ලද ඒවාය.එසේනම් ඒ මුදල් ගෑවුණු ගෑවුණු තැන් කඩා පිළිසකර කළ යුතුය.

වෙල‍ේ සුදාගේ කතාවේ ඔහු අධ්‍යාපනය සම්බන්ධ අයිතිය නොලද අයෙකි.ඒ පරපුරට ලැබුණ උරුමය සුදාගේ දූවරුන් ද ගත යුතු බව සිතන ගුරු මෑණිවරුන් ගැන කවර කතා ද?මාධ්‍යයට මේවා පුවත් වන්නේ අඩුවෙන්ය.වෙලේ සුදාගේ දූලා ට ඔහොම්ම වෙන්න ඕනි කියන සාමාන්‍ය කුහක සහ වෛරී සමාජ මතයේම මාධ්‍යය සිටීම එයට හේතුව වන්නට පුළුවන.එහෙත් ඒ දි්‍යණිවරුනටත් වන්නේ සුදා මෙන්ම සමාජ විරෝධි කටයුත්තකම නියැලෙන්නට නම් ඔවුන්ව පාසලෙන් එළියට වීසි කළ විදුහල්පති මෑනියන්ගේ ද දරු පරපුරේ අය ද ඊට ගොදුරු වීමට ඉඩ ඇත.ඒ වැනි අවස්ථාවක මතක් කළ යුත්තේ ඒ දියණිවරුන්ගේ මාතාව නොව ඒ අහවල් දේ කළ යුත්තේ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහොසි කළ ගුරු මෑනියන්ටය.

දැන් නැවතත් නිරෝෂාගේ දරු උපත අසිරිමත් උපත කර එය විකිණීමට දගලන අය ද කල්පනා කළ යුත්තේ මේ තමන් විසින් විකුණන්නේ මනුස්සයෙක්ට ජීවත් වීමට ඇති අයිතිය බවය.කුණු වූ ශ්‍රක්‍රාණු කදු යට ජීවත් වෙන හැම ගැහැණියක්ම කල්පනා කළ යුත්තේද නිරෝෂාගේ හිස මත කඩා වැටෙන හැම කුණු කන්දක්ම සුළු මොහොතක වෙනසකින් තමන්ගෙ හිසට ද කඩා වැටිය හැකි බවය.පිරිමි සිය ලිංගයේ හාස්කමෙන් දුර්ගන්ධය හමන නිරෝෂාගේ ජීවිතය තුළ පැසවා හැරව ගලන හැම තුවාලයකම ඇත්තේ තමන්ගේ නොහොබිනා කම් බව සිතිය යුතුය.

නිරෝෂාට සහ ඒ පැටියාට ජීවත්වීමට ඇති අයිතිය සථාපිත නොක‍ොට ස්වයං විනද්නයේ යෙදෙන මාධ්‍යකලාවෙ ශුක්‍ර තරලයෙන් බෝ පැල සකස්කිරීමේ ව්‍යාපෘතිය නවතා නොදමන්නේනම් නිරෝසාගෙ පැටියාට නොව සිය පැටි පැටික්කියන්ටද අනාගතයේ හමුවන්නේ මිනිස්ගුණ ධර්ම හිදී ගිය ව්‍යාජත්වය ධර්මද්වීපයක් පමණි.


Tuesday, June 3, 2014

සිංහල නොවී ලාංකේය විම පට්ටයි

හුග දෙනෙක්ට මේ දවස්වල බෝ වෙලා තියෙන ලෙඩේ තමයි සිංහල වීම.ඒකට එරෙහි ප්‍රතිශක්තිකරණයක් නැති වීමට බලපාන සාධකය තමයි බෞද්ධවිම.මේ ලෙඩේ ‍රටේ හැම දේටම බලපානවා.හැදිච්ච අය එක දිගටම අන් සියළු දෙනා සම්බන්ධයෙන් තිබිය යුතු රූපකායක් හදනවා.ඇදුම,කෑම වගේම තමන්ගෙ දෛනික අවශ්‍යයතා කර ගත යුතු ක්‍රමවේදයකුත් ඔවුන් නම් කරන අතර එසේ නොකරන අයට මරණ බය සමග ජිවත් වන්නට සිදුවීම දක්වා අනුන්ව මානසිකව වැට්ටීමත් මේ ලෙඩ්ඩුන්ගෙ වැඩක් හැටියට ක්‍රියාත්මක වෙනවා.

මේකෙ සිද්ධාන්තයක් විදිහට සිංහලයෝ නම් බෞද්ධයෝ විය යුතු බවත්,ඒ සිංහල බෞද්ධ පිරිසට අනුව රටේ සෑම දෙනාම කටයුතු කළ යුතු බවත් කියවෙනවා.සිංහල ජාතිය ඉහ මුදුණෙන් පිළිගැනීමට සියල්ලෝ සෑදි පැහැදී සිටිය යුතු අතර,බෞද්ධයෝ සම්බන්ධයෙන් වෙනත් ආගම දැරිය යුතු මතය ද ඒ ආකාරයෙන්ම විය යුතු වන අතර වෙනත් ජාතීන් සහ ආගම් හෙළා දැකීම සහ එම ආගමික සහ ජාතීන්ට අයත් සංස්කෘත වලට ගැරහීම මෙහි නරකම තත්ත්වය වී තිබෙනවා.

කෙනෙක්ගේ නිදහස සහ ස්වාධීනත්වය අහිමි කිරීම බෞද්ධ ලෙස නිර්වචනය වීම සහ ප්‍රදර්ශනය වීම බුදු දහමට හානිකර තත්ත්වයක් ලෙස වර්ධනය වීම නිසා ලෝකයේ පහළ වූ සුවිශේෂීම අහිංසාවාදියා ලෙස පිළිගැනෙන ගෞතම බුද්ධ චරිතය සහ එතුමාණන්ගේ දර්ශනය පිළිබදව කඩතොළු සිදුවීම මෙහිදී නොවැළක්විය හැකි තත්ත්වයක් වෙනවා.ඉහළම ප්‍රජාතන්ත්‍රවාදියා ලෙස පිළිගැනෙන උන්වහන්සේගේ සකල ලෝක වාසීන් කෙරෙහි වූ කරුණාව සිංහල ජාතියේ බෞද්ධයන් කෙරෙහි පැතිර වූ සහ ඔවුන් ගේ අධිපතිත්වයට යටත් වූ ධර්මයක් ලෙස සමාජ ගත කිරීම මෙහිදී සීඝ්‍රයෙන් සිදුවන්නේ,මානව දයාව සහ සත්ව කරුණාව මානව දර්ශනය ලෙස පිළිගත් බෞද්ධයන්ගේ ඉල ඇට කුඩු කරන තරමේ බලපෑමක් මෙම අළුත් රෝගීන්ගේ රෝග ලක්ෂණ හරහා ඇති කරමින්.

මේ ගැන කතා ශරීර සෞඛ්‍යයට අහිතකර නමුත් සිංහල නොවන ලංකාවෙ වීම ගැන පුංචි උදාහරණ දෙකක් ගැන කතා කරන්න ඕනි කියලා මට හිතුණා.

ඒ එක්කෙනෙක් රමේෂ් උවයිස්.ඔහු ඩේලි මිරර් පත්‍රයෙ කලා අතිරේකය භාර කතුවරයා.රොමේෂ්ගෙ පිටුවෙ තියෙන ලාකේය හැඩය මොකද්ද කියන එක ඔබ අහන්න පුළුවන්.හුගක් ඉංග්‍රිසි කලා පිටු වල නොතැබෙන සිංහල කලා නිර්මාණ ගැන උවයිස් කතා කරන්න උත්සාහ කරනවා.එතකොට සිංහ නිර්මාණ ගැන කතා කිරීම ද උවයිස් ට ගරු කළ යුතු කාරණය... ලිපිය ඇරඹුමට ඇමණුව වචන එක්ක ඔබ කරකවල අත අරින්න පටන් ගන්නවා.

ලංකාවෙ පත්තර කලාවෙ  සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍යවේදියා අතර පරතරය හැදෙන භෞතික සීමාව ගත් විට පරතරය විශාලයි.පහුසවෙන්ම කිව්වොත් පඩිය කියන තැනදි ඉංග්‍රිසි මාධ්‍යවේදියා ලබන පඩිය සිංහල මාධයවේදියෙක් ලබන වැටුපට වඩා බොහෝ ඉහළයි.එහෙම වෙන්නෙ රට හැසිරවීම ලෝකයට සාපේක්ෂව සිදු වන්නෙ ජාත්‍යන්තර භාෂාවෙන් වීම නිසයි.

එ් වගේම ජාත්‍යන්තර භෂාව දන්නා පිරිස් අපේ කොදෙව්ගත සාහාත්‍යය සහ කලාව ඉක්මවා ලෝකයෙ ඉහළ යැයි සම්මත නිර්මාණ විදීමට හැකි ආර්ථික සහ දැණුවත් මානසික පරිසරයක ජීවත් වීමත් මෙහිදී අවධානයට ලක් විය යුතුයි.අන්න ඒ ඉහළ විවෘත සමාජයට සිංහල භාෂාවෙන් කෙරෙන නිර්මාණ බුක්ති විදීමට කරන පෙළඹවීම රමේෂ් අතින් සිදු වෙනවා.ඒ නිසා ඉංග්‍රිසි සහ සිංහල ලෙස වෙන්ව පවතින කාලව සහ සංස්කෘතිය අතර පාළමක් තැනීමේ සමාජ සත්කාර්යයට රමේෂ් ගේ දායකත්වය වැදගත් වෙනවා.

මේ තත්ත්වය නිසා ඉංග්‍රිසි වේදිකාවේ සිට ශිල්පීන් සිංහල වේදිකාවට ප්‍රවේශ වීම සදහා ආර්ථික වශයෙන් වන වාසිය නොතකා කටයුතු කරමින් තිබෙනවා.ඒ වගේම අධික මිලක් ගෙවූ ඉංග්‍රිසි කලාකරුවන් සිංහල කලාවට ප්‍රවේශ වීම හරහා සිංහල කලාවට වානිජ වටිනාකමක් ලැබීමේ වපසරිය පුළුල් කර තිබෙනවා.
සිංහල සහ ඉංග්‍රිසි වේදිකා නාට්‍ය අතර අද විශාල සහසම්බන්ධයක් ගොඩ නැගෙන්නට හේතුව ලෙස අවිඥානිකව හෝ රමේෂ් ලා ගේ මාධ්‍ය කලාව  හේතු වී තිබෙනවා.ඒ නිසා සිංහල සහ ඉංග්‍රිසි ලෙස ඉරි ගසා කොටු ගසා වෙන් කරන ලද සංසකෘතික සමාජ දෙකක පරතරය අවම වෙමින් කාංකේය අනන්‍යතාවයක් සහිත කලාවක් ශක්තිමත් කිරීමට රමේෂ් දක්වන දායකත්වය වටිනාකමෙන් ඉහළ අගයක්   ලබා ගන්නවා.

ඊ ළගට රමේෂ් මේ දායකවන ජාතික කර්තවය සදහා ඔහු අත් පොත් ලබන්නෙ සමාජ උවමනාවන් හදුනා ගැනීමට ඇති ඔහුගේ ඉව හරහා යන්න අප තේරුම් ගැනීම වැදගත්.මරදාන සහිරා නම් වූ 100% ක් වූ මුස්ලිම් පාසලක අකුරු කරන රමේෂ් ජාතික අනන්‍යතාවය ලාංකේය ලෙස වටහා ගැනීම අතිශයින් වැදගත් වෙනවා.අපේ දේ යනු ලංකාවේ දේ ලෙස හිතන්නට රමේෂ් ට තිබෙන ඉව පොළවේ අයිතිය උලා කන්නට,ධර්මයට මුවා වී බොටුව කඩා ලේ බොන්නට දගළන අය සතුව නැති වීම.

ඊ ළගට අද ජාත්‍යන්තරයෙ වඩාත්ම කතා බහට ලක් වන ලාකේය චරිතයක් බවට පත් වී සිටින රසල් ආනල්ඩ් වැටෙන්නේත් රමේෂ් ගේ කුලකයටමයි.කොළඹ ශාන්ත පිතර විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ඔහු දෙමළ කතෝලික සම්භවයක් ඇත්තෙක්.නමුත් ලංකාවෙ සංස්කෘතිය ලෙස ගැණෙන අනුරාධපුර වේවා සීගිරිය වේවා තිරයේ දැක්වෙන විට එහි ඇති බෞද්ධ පරිසරය ගැන රසල් විග්‍රහ කරන තරම් හොදින් මීට පෙර ලංකාවෙන් විචාරක අට්ටාලයට ගොඩ වුණු කිසිවෙක් කර නැහැ.

මේ පීතරයෙන් හෝ ඔහු අදහන ආගමික පසුබිමෙන් උරුම නොවුණු දෙයක්.මෙය ලංකාවෙ සංස්කෘතික උරුමය සහ අගය ලෙස රසල් දකිනවා.කාශ්‍යයප රජ්ජුරුවො නිසා සිගිරි ලලනාවන්ට රෙද්ද හැට්ටය අන්දන්න නොයන වර්ථමාන සංස්කෘතික පොලිසි ගැහැණුන්ගෙ ඇදුමේ හැඩය පවා තීරණය කරන තත්ත්වයක රසල් කාශ්‍යයප රජ්ජුරුවො වගේම ලංකාවෙ පුරාතන බෞද්ධ සංස්කෘතියේ ඇති අපූරුවතවය ලාංකේය අනන්‍යතාවය ලෙස සළකා එය හදාරා ලෝකය හමුවේ අපේ නිර්මාණශීලී අනන්‍යතාවය සාක්ෂාත් කරනවා.

එසේම ඔහු වරක් ලෝක කුසලාන ආරම්භක උත්සවයකදි අපේ නැටුම් සම්ප්‍රදායන් ගැන ලෝකය ඉදිරියෙ වර්ණනා කළ අයුරු කිසිවිට අමතක කළ නොහැකියි.උඩරට,සබරගමු සහ පහතරට සම්ප්‍රදායන් මෙන්ම ඒවාට අදාළ නර්තානංගද විග්‍රහ කරමින් ලාංකේය නර්තන කලාව පිළිබද ලෝකය හමුවේ ආනල්ඩ් විසින් තැබූ සදහන අපූරුයි.නමුත් කිසිදු මාධ්‍ය උත්සවයකදි ක්‍රිකට් හරහා ලෝකයට ලාංකේයත්වය ගෙන යන මේ පුද්ගලයාද ඇගයීමට ලක් වන්නේ නැහැ.ඒ ඔහු සිංහලෙන් කතා නොකරන නිසා ද,නැතිනම් සිංහල බෞද්ධ පාසලක නොවන නිසා ද යන්න හෝ සිංහල බෞද්ධයෙක් නොවන නිසා ද යන්න දන්නේ නැහැ.