Monday, April 20, 2015

අයි.සී.සී සහ අයි ආර් සී

mad

අයි.සී.සී සහ අයි ආර් සී යන වචන දෙක සමාන වෙමින් පවතින්නේදැයි සැක සහිත ය. එය වෙනම විසදා ගත යුතු කාරණයකි. නමුත් ‘අයිසීසී එකට ඕනි විදහට වැඩ කරන්නෙ නැහැ‘වැනි අදහස් මතු වන මුරණ්ඩු ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ අයි.ආර්.සී. කාරයන්ට මුහුණ දිය යුතු අවබෝධය සහ පෞරුෂය එපමණට නොවැඩි ළදරු මානසිකත්වයකි.
උසස් පෙළ සහ බාලාංශ ළමයින් අතර ගැටුමක් සේ පෙනෙන්නට තිබෙන මේ අර්බූදය මුලට ගිය විට හමු වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා දේශපාලනයේ ස්වභාවය ය. දැලි පිහිය භාවිතයේ ආදීනව කවරේද යන්න තීරණය වන්නේ එය භාවිතා කරන්නා අනුව ය. මේ නීති රීතිවල ක්‍රියාකාරීත්වයේ සොබාව ද එබඳු නැත. නමුත් පත්වන පුද්ගලයාට සම්ප්‍රදාය ක්‍රියාත්මක විය හැකි ඉඩ වසා ස්වීය පෞද්ගලික පෞරුෂය භාවිතාවේ යොදා හැසිරිය හැකි ය.
එවැන්නකුට බලය ලැබීම හෝ බලය භාවිතාවේ ඉඩක් ලැබීම යනු ලෝකයක් අනාථ කළ හැකි වැඩකි. ක්‍රිකට් ලෝකය ද අනාථ වූයේ එවැනි පුද්ගල භාවිතාවන් ගේ සහ දායකත්වයන් ගේ මැදිහත්වීම හරහා ය.
ඉකුත් කාලයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ක්‍රිකට් ශාඛා සමිතියක් වීමට තරම් පිරිහුණු අතර අමාත්‍ය අර්ජුන රණතුංග ම මේ පිළිබදව විවිධ අවස්ථාවන් හී මාධ්‍යයට කරුණු දක්වනු දකින්නට ලැබිණ. එහි තත්ත්වය වඩාත් දරුණු අතට හැරෙන්නට ගත්තේ ශ්‍රී නිවාසන් අයිසීසී යේ අදෘශ්‍යමාන පාලකයා වීමත් සමඟ ය.
ඉන්දියාව අප පූර්වාදර්ශයට ගත යුතු රටක් ලෙස හැදින් වූයේ ඔවුන් තුළ තිබෙන බලය අත හැර යාමේ හැකියාවට සාපෙක්ෂව ය. බොහෝ විට වරදක් වූ විට එහි විපාකය පහළට නොඑවා අමාත්‍ය ධූරවලින් පවා අස් වෙමින් ඔවුන් දෙන ආදර්ශය ගැන එවැනි සමාජ දේශපාලන වට පිටාවක් නැති ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු බව අපි නිතර සාකච්ඡා කළෙමු. නමුත් ශ්‍රී නිවාසන් ශ්‍රී ලංකාව ආදර්ශයට ගත්තේ ය. අයිපීඑල් හරහා දැවැන්ත චෝදනා එල්ල වෙද්දි ඒ සියල්ල දරා ගෙන ඔහු තම ක්‍රියාවන් එලෙසින්ම පවත්වා ගෙන යන්නට තරම් නිර්ලජ්ජිත විය. අයිසිසි ය ද ඔට්ටු ඇල්ලීම වැනි චෝදනා අභිමුව වුව ඔහුට පරීක්ෂණවල විනිවිදභාවය සුරකින්නට හෝ එම පරික්ෂණ නිමවන තුරු හෝ තනතුරුවලින් තාවකාලිකව ඉවත් වන්නට යැයි කියා හෝ නොකීවේ ය.
මේ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොදුරු වීම පිළිබඳ ආසන්නම සිදුවීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සංචාරය අතරමඟ නැවතීමෙන් ඇති වූ හිදැස පුරවන්නට කිසිඳු සූදානමකින් තොරව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එරටට යැවීම ය. ක්‍රීඩකයන් පවා ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කළ මෙම අවස්ථාව නිසා අපේ ක්‍රිකට් කණ්ඩායමට වාර්තා කිහිපයක් ම හිමි විය. පරාජය ඉක්මවා ගිය එම වාර්තා අතර රෝහිත් ෂර්මාට වැඩිම එක්දින ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාව හිමි කර දෙමින් විශාල ලකුණු ගණන්වලින් පරාජය විඳ ගැනීමේ අවස්ථාව ද අපට හිමි විය.
ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ අර්බූද ද ඇති තරමට තිබිණ. තීරණ ගැනීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග ක්‍රියා කළ ආකාරය මෙන්ම පරිපාලනයේ තිබි අභ්‍යන්තර අර්බූද හේතුවෙන් සභාපතිවරයාට සහ ලේකම්වරයාට තමන්ට අදාළ සීමා කවරේද යන්න කියා දීමට තරම් අමාත්‍යවරයාට මැදිහත් වන්නට සිදු වූ අවස්ථා ද මේ අතර තිබිණ.
ශ්‍රී ලංකාවෙ පැවති ලෝක කුසලානයෙන් පසුව මූල්‍යමය වශයෙන් අස්ථාවර වූ ක්‍රිකට් ආයතනය ඇතැම් කාලයන් පසු කළේ සේවක පඩිනඩි හෝ ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක ය. රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයන්හී දී චෝදනාව එල්ල වූ ආයතනයේ ප්‍රධානියකු ලෙස සාක්ෂි දීමට ක්‍රිකට් ආයතන ලේකම්වරයා කැදවීම හරහා සහ ඒ සම්බන්ධයෙන් ඔහු දී ඇති කට උත්තරය ද පැහැදිලි කරන්නේ ඔහු එහි නියෝජිතයකු බව නම් වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.
මෙවැනි කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පරිපාලනයක් සමඟ විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීම පහසු නැත. රටේ ක්‍රීඩාවක් ඒ ආකාරයට අයාලේ යන්නේ නම් එය නිවැරදි කිරීම සහ ඒ ගැන පරික්ෂා කිරීමට රටේ නීතියෙන් ඇති අවසරය නොවැළක්විය හැකි ය.
අප පිළිගත යුතු දෙයක් වන්නේ, ක්‍රීඩාවක ව්‍යුහමය සැලැස්මට අනුව අප එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර මුලස්ථානයට වගකිව යුතු ය. ක්‍රීඩාව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ප්‍රමිතියකට එහි හැසිරීම අවිශ්වසනීය වුවත් අප එයට සටන් කිරීමට සූදානම් විය යුත්තේ හිස් අතින් නොවේ.
ක්‍රීඩා අමාත්‍යවරයා වරද්දා ගන්නේ මෙතැනදී ය. ලංකාවට පමණක් නොව ඉන්දියාව අයිසීසී ය තුළ ද විශාල පරාසයක බලය හිමි කර ගෙන සිටින බව අප අමතක නොකළ යුතු ය. ඒ ඉන්දීය ආශ්චර්යයේ ආලෝකයෙන් ආලෝකය ලැබීම පමණක් නොව ඒ ආලෝකය දල්වන්නට ඉන්ධන ඇදීමට ද ශ්‍රී ලාංකේය පරිපාලනය කටයුතු කළ බව අප මෙහිදි දන්නා සත්‍යයකි.
මේ තත්ත්වය යටතේ පසුගිය කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අකමැත්ත පළ කළ තොරතුරු සහ සැක සහිත මූල්‍යමය ගනු – දෙනු මෙන්ම පරිපාලනයට නුසුදුසු සහ අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරීමට වලංගු නීතිය යටතේ කොමිසමක් පත් කරමින් පැවති පාලනය ඉවත් කිරීමේ ඉඩ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත් හළේ ය. එසේම එම චෝදනාවලට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් වී ඇති චෝදනා තොගයේ පරික්ෂණ නිමවන තුරු එම පරීක්ෂණවලට ඇති විය හැකි බලපැම් සලකා මෙම පරිපාලනය තාවකාලිකව ඉවත් කරන බව කීමට ද තිබිණ.
ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුතු පිළිවෙළ එබඳුව තිබිය දී එම අතපසු කිරීම නොතකා අයිආර්සි කාරයාට චණ්ඩි කතා පැවසීමට යාමෙන් වෙන්නේ මුල්ලකට වීසි වන්නට පහර කෑමට ය. අපි බය නැහැ අපිට ඕනි දේ අපේ රට වැනි ග්‍රෝතික වදන්වලට සැපට නින්ද යන අය සිටින බව අපි දනිමු.ඒ වගේම ඇමති ගේ හිත සුව පිණිස ඔළුව වනන අය ද සිටින බව අපි දනිමු.
මේ සිහින දකින්නන් යථාර්තයට ද, ඔළුව වනන එහෙයියන් ශක්තියට සහ සෘජුව තැබෙන සේ සිය කශේරුකා සවිමත් කර ගැනීමට ද කටයුතු කරමින් කතා කළොත් අන්තිමට ඉතුරුවන සත්‍යය වන්නේ, ජාත්‍යන්තරය නොතකා කටයුතු කරන්නේ නම් අපට ක්‍රිකට් ලෙස ලෝක පරිමානයේ දෙයක් ඉතිරි නොවන බව ය. එවිට ලෝකය ආඩම්බරයෙන් පෙන්නන දෙයක් ලෙස ‘අපේ ක්‍රිකට්‘ නොපවතිනු ඇත. අපිට ඕනි නම් අත උඩින් පන්දු යැවීම නවතා එය දෙපරන්දය අස්සෙන් පිතිකරුවාට වීසි කරන පන්දු යැවිමක් බවට පත් කර ගෙන වුව, එයට ක්‍රිකට් යැයි කියා අපට ඕනැ හැටියට අප රට තුළ පමණක් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත.
දැන්වත් ක්‍රීඩා අමාත්‍යවරයා තිරණය කළ යුත්තේ මින් කුමන මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවකට ‘අපේ ක්‍රිකට්‘ කීම උචිත ද යන්න ගැන ය. ක්‍රිකට් ක්‍රීඩාවේ පෙර පාදයේ මෙන්ම පසු පාදයේ ක්‍රිඩා කර ද නොදැවී ආරක්ෂා වී සිටීමට හැකි බව පමණක් බුද්ධියේ ප්‍රමාණය අනුව තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
වෙබ් එකට ලියපු ආටිකල් එක .මේකට පෝස්ට් කළා.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි වගේ වැඩක් තමයි.... 


2 comments:

  1. මට නම් පේන්නේ අයි සී සී එකෙත් ඉන්නේ අයි ආර් සී කාරයෝ වගේ.. මේක ඉන්ටර්නැසොනල් හොරුන්ගේ ගේමක් වගෙයි දැන් පේන්නේ..

    හොරු වෙනුවෙන් හොරු...

    ReplyDelete
  2. ඒක තමයි බං කියන්නෙ එහෙම එව්වොත් එක්ක සෙල්ලම් පිහි කෑලිපෙන්නල බය කරන්න හදන සෙල්ලම් චණ්ඩි විදිහට වැඩ කරල බැහැනෙ. එහෙම වුනොත් රටට ක්‍රිකට් නැති වෙයි.රටේ තියෙන නිතියෙන් කෙරෙන පරික්ෂන පදනම් කරගෙන තාවකාලික ඉවත් කිරීමක් ප්‍රකාශයට පත් කරල අලුත් ඉන්ටරීම් එක ගෙනාවනම් වැඩේ ඉවරනෙ

    ReplyDelete