Monday, January 9, 2017

අත - හිත රිදවීම

අත ඇඟිළි තුනක් අඩ පන වෙලා.අත පන නැති වේගෙන එනවා.ලියන අත.මට මතක් වුණා අනුර කේ.උගෙ ලියන අත කැපුවා කෝච්චියට අහු වෙලා.ඒත් අනිත් අත ලියන්න හුරු කර ගත්තු අනුර අද ලේක්හවුස් එකේ විශේෂාංග කතෘ.

ජීවත්වෙලා වැඩක් නැහැ බං...

අත නැති වුණාම අනුර, ළඟ හිටපු මට ඒ කතාව කී පාරක් කියල ඇද්ද?ඒ කියන වාරයක් ගාණෙ මම බැනල ඇති.හිත රිද්දල ආයෙ හදල ඇති.

ඒත් එහෙම කිව්ව කියල හිතකට දරා ගන්න පුළුවන්ද?මගේ අත ගැන හරියටම දැන ගන්නත් ඉස්සර මට ජීවිතය තිත්ත වෙලා තියෙන්නෙ.

අද කොම්පියුටරයෙන් එක අතින් හරි ලියන්න පුළුවන්....

කීප දෙනෙක් කිව්ව ඒ කතාව ඇත්ත.ඒත් මගේ දකුණු අතට අහු වුණු පෑන් තුඩ ඒ ෆෝ සයිස් එකට කැපුණු නිව්ස් ප්‍රින්ට් කොළවල අතුරපු දේවල්..ඒව ඉලක්කයකට ලියැවුණා.මට ඒ ඉලක්ක එක්ක ඉන්න පුළුවන්කම ලැබුණා...
ඒ අකුරුවලට විශ්වාසයක් දෙන්න මට පුළුවන් වුණ නිසා,ඒව රටක්  වටින මානව සම්පත් වුණා
ඒ දේවල් කරපු අත...මට රටට වටිනාකමක් හොයා දුන්න අත.. අඩුවන අතේ ක්‍රියාකාරීත්වය රැදී තිබෙන ප්‍රමානයෙන් මට මේ ටික හරි ලියා ගන්න හිතුණා.
ශ්‍යාමන් හේමකොඩිගේ අතේ ගැටවක් තියෙනවා.ඒත් ඒක උට බාධාවක් නැහැ.නමුත් හැඩට ලියන උගේ අත මගේ හිතට බාධාවක්...අපි යමු ජාලිය ගාවට..හම්බවෙන හැම වෙලේම මම කියනවා.

මං ගැන ජාලිය දන්නෙ නැහැ.දැන ගත්තොත් මාව හොයන් එයි..ඩොක්ටර් ලාල්..ඒ වගෙම මම මේ ගැන පෙන්නන්නවත් අකමැත්තෙන් ඉන්න කොට මාව එතනට යොමු කළ ඩොක්ටර් සුසන්ත..ඒත් මට අවිශ්වාසයි..දුකයි...මම අනුරට ශ්‍යාමන්ට වඩා දුර්වලයි...අසරණයි.දැනෙන්නෙ ආත්මානුකම්පාවක්.

ඒත් නැති වෙන එක ස්වභාවිකයි.වටින්නෙ තියෙද්දි කළ දේවල්...අතින් ලියැවි දේ වෙනුවෙන් හදාගත්තු විශ්වාසය නිසා ක්‍රීඩාවේ බොහෝ අඩු පාඩු අහිමි කළ අවස්ථා නිවැරදි කර ගන්න ලැබුණා.හැබැයි ඒ ලියලා නෙමෙයි.කතා කරලා.ඒක වුණේ කොහොමද...අත හිත දිනා ගත්තා.අද අත හිත රිදවන තරමටම එදා හිත සතුටු කළා.

අද හුඟක් අය මීඩියා වුණාම මොන කතාද?ඇරල දාන්න තියෙන්නෙ කියන ලෙවල් එකට ඇවිත්.ඒ ඇරල දාන්නෙ කාටද?තවත් මනුස්සෙක්ට.එයාගෙ ආත්ම  ගෞරවය,පෞරශ්‍යය...මම එහෙම කරන්න සීමාවක් තියෙනවා කියන්නෙ හේතු ගණනාවක් එක්ක.එතනට මෙහා කරන්න උත්සාහ කළ හැකි දේ තියෙනවා ඒ ඔබේ හඬට,ලිවීමට හෝ ඉදිරිපත් කිරීම වෙනුවෙන් දිනා ගෙන ඇති විශ්වාසය සහ ප්‍රශංසාව මත...

අපිට ඒක අමතක වෙනවා.ඒ නිසා අප පෙනී සිටින මිනිහා සහ අපේ විවේචනයට ගොදුරවන මිනිහා අතර විශාල දුරස්කමක් හැදෙනවා.ඇත්තටම අපිට මොකද්ද ඕනි.මේ දුරස් කම අඩු කරන්න සහ පෙනී සිටින එකාට සාධාරණය ඉටු කරන්නද?එහෙමනම් අපි අපේ භාවිතාව ඇතුළෙ ඒ දේ කරන සරල ක්‍රමය හිතන්න වෙනවා.ගැහුවම ගහන එකා අරූට ගැහැව්වා කියන මතයෙන් අපි පොරක් වෙනවා.ඇගයීම් ලැබෙනවා....හැබැයි වැඩේ නොවුණොත් අපි පොර වී අපි පෙනී සිටි මිනිහා කොර වෙනවා...

ඒ නිසා ගැහිල්ලට වඩා ඔබ උපයාගත් සම්බන්ධය සහ පිළිගැන්ම මිත්‍රශීලීව යොදා ගෙන කටයුතු කිරීමයි වැදගත්. නොවන කාරණය සාකච්ඡාවට ගන්න.එය කළ යුතු පුද්ගලයාගේ හොඳ සමඟ කළ කී දේ සමඟ එය කිරීමට පොළඹවන සටහනක් තබන්න...ඒ කරුණු හේතුවෙන් මෙය අතපසුවීමක් පමණක් විය හැකි බව පෙන්වා එය නිවැරදි කිරීමට අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින්න.

භාෂාව හරිම වැදගත්.එය සිඹින්නත් - කපන්නත් - සිඹින සේ කපන්නත් - කපන සේ සිඹින්නත් පුළුවන් මෙවලමක්.මේවා කෙසේනම් භාවිතා කරන්නේද?කුමන තැනකට ගැලපේද? ඔබ කෝප නොගන්නා තරමට ඔබේ කෝපය දැනෙයි...විවේචනයේදී කෝපය වෙනුවට විෂයට ආදරය කරන්න.යහපත් විවේචනයක් සිදු වේවි.

අතයි හිතයි එකට තියා ගන්න.ඔබ ආදරණිය මිනිසෙක්නම් හිතෙන් එන ආදරණීය සංඥා එක්ක ඔබේ අත වැඩ කරයි.
ආදරණීය පත්තර මිතුරණි.....ගහන්න නෙමෙයි අපි දිනන්න වැඩ කළ යුතුයි.හෙට ආයෙ මේ අත හෝ මම නිහඩවම සැඟවී ගියත් මගේ හිතයි ගතයි නිදහස්...මේ ටික ලිව්වට පස්සේ තවත් නිදහස්.....

2 comments:

  1. මොකද බං මේ හදිසියේ.

    ReplyDelete
  2. ගොඩක් දවස් බං දරාගෙන හිටියා ලෙඩ කියලා දැන ගත්තම ජීවත්වෙන්න එපා වෙනවනෙ.
    හුඟක් අය කිව්වෙ කොලොස්ටරෝල් වෙන්න ඇති කියලා.එහෙම වුණානම් මල වදයක්නෙ.ඒ නිසා මම චෙක් කළේ නැහැ.පස්සෙ දැන් අවුල තියෙන්නෙ ස්නායුවල

    ReplyDelete