Thursday, November 16, 2017

ඉල් සහ හිල්

An article image
කාලයකට පසුව බ්ලොග් එකට අකුරු පුරවන්නට සිතක් පහළ විය.ඒ ඉල් මහ සමරුව ගැනය.නොවැම්බරය සීතලය.ඒත් ඉල් උණුසුම් කරන සමරුවක් වන්නේ රටට නොව සුළුතරයකටය.ඒ රෙසපි එක පෙන්නා වෙනත් අඩුම කුඩුම යොදවා හදන කේක් එකක් මෙන් දේශපාලනයකට මේ ක්‍රියාවලිය යටත් වන බැවිනි.ඒ නිසාම එහි එක දිගට රැදෙන දේශපාලන සාමාජිකයන් අඩුය.

මේ කණ්ඩායම සමඟ එක්වන්නේ දීර්ඝ ලෙස සමාජයෙන් කොන් වීමේ අසාධාරණයට ලක්වන අත්දැකීම් ඇත්තවුන් හෝ එවැනි එක් අත්දැකීමක් නිසා හෝ අසාධාරණයට ලක් වීමෙන් ඇති වූ කම්පනයෙන් රිදවා ගත්තවුන්ය.එසේ නොවන සුළු පිරිසක් ඒ අසාධාරණය දැක මීට එක්වන්නේ සාධාරණ සමාජයක් ගොඩ නැංවීමේ සිහිනයෙන් යුතුවය.

මගේ අතිශයින් සමීපතම මිතුරා ජවිපෙ සමඟ රොඳ බදින්නට ගත් තීරණයේ ඇත්තේ ඔහුට පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වන්නට තිබුණ ඉඩ වසා දැමීමට ගමේ පාසලේ විදුහල්පතිවරයා සහ වරප්‍රසාදිත පන්තිය ගන්නා ලද තීරණයක්ය.ඒ බැට කෑම එක මොහොතකට සීමා නොවී ඔහුට ඇති කළ ගැහැට අවසානයේ නිමා වන්නේ විශාල ඛේදවාචකයකින්ය.

ඇයි ඔහු ශිෂ්‍යත්වයට හිර වන්නෙ?

වෙනත් විකල්පයක් නොමැති නිසාය.විකල්ප සහිත නැතිනම් අවසාන පලය නෙලා ගැනීමට ප්‍රමතිගත මාර්ග බහුල වේ නම්;තත්ත්වය තව වෙනස් වන්නට තිබිණ.ඒ අවශ්‍යයතාවය පල දරන්නේනම්...........

මෙවැනි කම්පාවන් සහිත පුද්ගලයන් සීමා වෙනවා මෙන්ම ඒ දේශපාලනය වටා රොද බඳින්නන් සීමා වෙනවා නේද?

මේ නිසාම සකසාගත් රාමුවක සිර වූ දේශපාලනයක ප්‍රතිපල ලෙස මේ රටට 71 දී සහ 89 දී ජීවිත විශාල ගණනාවක් අහිමි විය.ධනවාදයේ උවමනාවට අනුව හැසිරීමට යෝජනා කරනවාද....?ඉහත කරුණ සම්බන්ධයෙන් ඔබ මගෙන් අසන්නට හැකිය.ඉන් පසු සංවාදය තිත්ත රස වචන වලින් උතුරා යනු ඇත.

නමුත් යෝජනාව හකුලනු වෙනුවට ඒ යෝජනාවේ ඇති පලය ලබා ගැනීම සඳහා අවශ්‍යය ක්‍රමවේදය සකස් කිරීමට යම් කිසි ධනාත්මක මැදිහත්වීමක් කළ හැකි නොවේද?

අද අපේ විශ්ව විද්‍යාල ප්‍රජාව රටේ අධ්‍යාපනය,සෞඛ්‍යය ආදි එකි මෙකී නොකී සම්පත් රැක ගැනීම වෙනුවෙන් වැඩි කාලයක් ගෙවන්නේ පාරවල්වලය.මේ රැක ගන්න හදන අධ්‍යාපනය ගන්න.

පරණ දේ ය.අලුත් වීමක් නැත.සමාජයට අලුතින් යමක් එකතු කරන පර්යේෂන සිද්ධ වෙන්නේම නැති තරම්ය.ඒවා වෙනස් කරන්නට අරගල කිරීම හෝ ඒවා වෙනස් කරන්නට මේ අරගල කරන ශීෂ්‍ය සංගම් සාමාජිකයන් සිය ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවමින් කරන ලද අලුත් පර්යේෂණ කෘති කවරේද?නිර්මාණය කළ යන්ත්‍ර සූත්‍ර හෝ වෙනත් සමාජ හිතකාමී ක්‍රියාවලියක් වේද?

යාන්ත්‍රික නඟුල්,අඩු වියදම් යතුරු පැදි,පොල් කඩන යන්ත්‍ර,කෘතිම පාද.....මෙසේ නිපදවන බොහෝ කරන්නේ සරසවි උගතුන් නොවේය.ඒවාට හේතුපාඨ සැපයීම සහ ඇගයීම පමණක් කරන්නට ඔවුන් සෑදී පැහැදී සිටින්නේය.අතිශයින් ප්‍රායෝගික පලදායි ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලවල පර්යේෂණ පහසුකම් සැපයිය යුතුය යනුවෙන් විකල්ප දේශපාලන ධාරාවකට අරගලයක් කළ හැකිය.මන්ද සමාන අවස්ථාවන් නැති,සම්පත් බෙදී යාමේ අසමානතාවයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් නිසා මේ නිර්මාණ කරන ගම්වල අහිංසක දරුවන්ට රට ලෝකයට රැගෙන යාමට අවශ්‍යය ආයතනික කුසලතා සහතික කරන කිසිවක් නොලැබෙන නිසාය.

නමුත් ලංකාවේ පවතින මේ දේශපාලනය අරගල දෙකකට පසු ජීවිත දහස් ගණනක් අහිමි වීමෙන් පසුවද තවත් ජීවිත බිලිදෙමින් අරගලයකට යනු ඇත්තේ පවතින රජයක් මේ නිර්මාණකරුවන් න්‍යායාත්මක අධ්‍යාපන සුදුසුකම් දෙවැනි කොට සරසවිවලට ඇතුළත් කරගන්නට ගියහොත්ය.තිත්ත වුව ඇත්ත මෙබඳු නොවේද?

එයින් අදහස් කරන්නේ පවතින අධ්‍යාපනික රටාව සහ පිළිවෙල උගතුන් නිර්මාණය කිරීමට සුදුසු බව මේ දේශපාලනය පිළිගැනීමද? සම්පත් බෙදී යාමේ අසමානතාවයෙන් ගොඩ එන්නට ඇති පෞද්ගලික අධ්‍යාපන උපකාරක පංති සංස්කෘතිය පිළිගන්නා බවද?එසේ පෞද්ගලික පංති වන්දනාවේ යාමට නොහැකි හෝ ඊට ප්‍රතිපත්තිමය වශයෙන් අකමැති නමුත් සම්පත් දුබලතාවයෙන් යුත් දරුවෙක්ට ඇති විකල්පය කුමක්ද?

" වැඩේ පහේ ශිෂ්‍යත්වයම තමයි,ඒක පාස් වෙන්න තියෙන එක නැවත්තුවොත් මරාගෙන මැරෙන්න ඕනි"

මෙවැනි හැඟීමක් නඩත්තු කරමින් ජීවිත අගාධයට ඇද දැමීම දේශපාලනික යුතුකමක්ද?

නැත ශිෂ්‍යත්වය බල්ලට දාන්න මෙන්න පාරවල් කියා අලුත් මාවත් සකසා පෙන්වා දීම වැදගත් ද?

තව ජීවිත සමඟ සෙල්ලම් කිරීමට පෙර මෙය විසඳාගත යුතු නොවේද?

සයිටම් අර්බූදය තුළ ද මේ හිල් එලෙසින්ම තිබිණ.එම අවස්ථාව හකුලා දමා ධනවාදයේ අධ්‍යාපනය බෞතීස්ම කිරීම එම අරගලයේ ද අවසාන ඉලක්කය විය.

එහිදී විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා ගන්නා පිරිස කෙතරම් ද?එයින් රටේ මුදල් කොපමණ ප්‍රමානයක් විදේශයට ඇදී යනවාද? මේ කාරණයට විසඳුම් මොනවාද?

රටේ පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සුදුසුය.ඒ නිසා විදේශයන්ට ඇදී යන මුදල් රටේ රඳවා ගන්නට ලැබෙයි.තවත් විදේශ මුදල් රටට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙයි.

සයිටම් හී උගන්නන්නේ දැන් සිටින වෛද්‍යවරුන්ටද උගන්වන සහ ඉගැන්නූ පිරිස්ය.ඒ නිසා එහි වෙනසක් නැත.දැණුම ලබා ගන්නට සහ දැණුම බෙදා දෙන්නට ඇති සම්පත්වල ගැටළුව සහ එයින් ලැබෙන ආදායම රජයේ අධ්‍යාපනයට යොදා ගත හැකි මාර්ගයක් පෙන්වා දීම යන කරුණු මුල් කරගෙන සටන සිදු වූවානම් එය වැදගත් නැද්ද?

අද අපිට විශාල සේවයක් ලබා දුන් රුසියාවේ ලුමුම්බා වට එම නමත් නැත.එහි ශිෂ්‍යත්ව වෙනුවට මුදල් දී ඉගෙන ගත යුතුය.චීනයේ තත්ත්යද එබඳුය.ඇත්තේ විවෘත ආර්ථිකයයි.කියුබාව පෞද්ගලික ආයෝජනයට ඇති අවස්ථා 80% න් ඉහළ දමන්නට කථිකා කරමින් සිටියි.ඒ ධනවාදය රටට වැද්දා ගන්නට නොව.සමාජවාදය තුළ එය පාලනය කරන්නේ කෙසේද සහ එයට ස්වීය දේශපාලනයට අනුව සමාජ හැඩයක් ලබා දෙන්නේ කෙසේද යන්න තර්කයට අදාළවය.එසේ වෙනස්වන්නට සිතන්නේ නැති කොට සා දුකින් පෙළෙනවුන් දැන් ඉතිං නැගිටියව් යන සටන් පාඨය අලුත් වෙන්නේ නැතුවා පමණක් නොව,ඒ සටන් පාඨය ට පවතින්නට ඇති ඉඩ අඩු වන්නේද නැත.සටන් වැකි නොව සටන් ක්‍රම ද අලුත් විය යුතු තැනෙක එය නොතකා කටයුතු කරන දේශපාලනයකට එක් විය හැක්කේ ජයග්‍රහණ නොව තවත් පරාජයන් සහ සමරන්නට සොහොන් කොත්ය.

දැනටද රැක ගන්නට යැයි අරගල කරන ලැබූ සමාජ ජයග්‍රහණ බොහොමයක් හදුන්වා දෙන අවස්ථාවේදී විරෝධයට ලක් වූ ඒවාය.එසේ නොමැතිනම් අරගලයකින් තොරව ලැබුණු දේ ය.


No comments:

Post a Comment